tabs-meerigama-incident

කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ පාසලක පරිගණක විද්‍යාගාරය කඩා රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ටැබ් පරිගණක 8 සහ තවත් භාණ්ඩ සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනකු කොටදෙණියාව පොලිසිය පැය 72ක මෙහෙයුමකින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව කොටදෙණියාව පොලිසිය පවසයි.
 


රජයේ සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට අනුව රුපියල් ලක්ෂ 4 කට ආසන්න ටැබ් පරිගණක මෙම පාසලට ලැබී ඇත.

පසුගිය පාසල් නිවාඩු කාලයේ අතරතුර සැකකරුවන් දෙදෙනා විද්‍යාගාරයේ වහලයෙන් බැස අවස්ථා දෙකකදී මෙම ටැබ් පරිගණක සහ සබ් වූපර් යන්ත්‍රයක් සහ මෙම පරිගණක සඳහා භාවිත කරන චාර්ජර් ද සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

මීරිගම ප්‍රදේශයේ පරිගණක අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් සැකකටයුතු ටැබ් පරිගණකයක් අලුත්වැඩියා කර ගැනීමට කිසියම් පුද්ගලයෙක් පැමිණ ඇත.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය මීරිගම ප්‍රදේශයේ පිහිටි පරිගණක අලුත්වැඩියා මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදී ටැබ් පරිගණකය ගෙනා පුද්ගලයාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී එම පුද්ගලයා පවසා ඇත්තේ මීරිගම කඳන්ගමුව ප්‍රදේශයේ බෝඩිමක නතරවී සිටි පුද්ගලයකුගෙන් එම ටැබ් පරිගණකය මිලදී ගත් බවයි.

ඒ අනුව මීරිගම කඳන්ගමුව ප්‍රදේශයේ පිහිටි බෝඩිම වෙත පොලිසිය ගොස් ඇති අතර බෝඩිමේ සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම්වලදී සොරකමේ සුලමුල පොලිසියට සොයාගැනීමට හැකිවී ඇත.

ඒ අනුව බෝඩිම පරීක්ෂා කිරීමේදී ටැබ් පරිගණක තුනක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

තවත් ටැබ් පරිගණක හතරක් අනෙක් සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව කොටදෙණියාව බාදුරාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගෙවත්තේ වළලා තිබූ ටැබ් පරිගණක හතරක් සහ සබ් වූපරයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මොවුන් මෙසේ භාණ්ඩ සොරකම් කර ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ විකුණන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. මෙම පුද්ගලයන් දෙදෙනා මීරිගම ලෝලුවාගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවකයන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.



කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එ.එන්. පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් ලියනගේ, පොලිස් සැරයන්වරුන් වන 36463 සුගත්, 21677 වීරසිංහ , 55394 කිත්සිරි, 61122 ආරියරත්න, 34498 ලීලාරත්න, 34621 චන්ද්‍රසේකර, 34368 අනිල්,46331 අබේසිංහ,පොලිස් කොස්තාපල්වරුන් වන 89512 තරංග, 90576 බණ්ඩාර, කාන්තා පොලිස් කොස්තාපල් 47605 කුමාරි වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 (මනෝජ් එදිරිසිංහ - මීරිගම - අරුණ)