udaya-gammanpila-speaks

ඉන්ධන නැව් නිදහස් කරගැනීමට අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව මහ බැංකුව පැවසුවද මහපොළොව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛණ්ඩව ලබාදෙන්නේ නම් අර්බුදයක් නොමැතිව  ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (28) පැවසීය. 

තමන් ද ඇමැතිවරයකු වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ඇපල්, මිදි සහ දොඩම් කා කළුවරේ ඉන්නවාද, පිටරටින් වතුර ගෙනැවිත් බී වාහනවලට තෙල් නැතිව ඉන්නවද එසේ නැතිනම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනිමය පාවිච්චි කරනවාද යන්න ප්‍රමුඛතා මත තීරණය කිරීම බව ද ඔහු කීවේය. ඇපල් මිදි ඇති තෙල් ටික නැති සහ පිට රටින් ගේන්න මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවා යන තීරණය ආණ්ඩුව ගතයුතු බව ද ඔහු සඳහන් කළේය. ඉන්ධන අර්බුදය ශරීරයේ ලේ ගමනාගමනය නැති වූවා වැනි බව අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි අර්බුදයක් නොමැති විදේශ විනිමය අර්බුදයක් පමණක් ඇති බව කී ඇමැතිවරයා පසුගිය වසර පුරාම විදේශ විනිමය අර්බුදය ඇති වන බව කිව්වත් මේ වන විට ඒ භයංකාර සිහිනය සැබෑ වී ඇති බවත් පැවසීය. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ආනයන සඳහා ඩොලර් බිලියන 21 ක් විදයම් කර තිබුණ ද ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන 2.8 ක් පමණක් වියදම් කර ඇති බව කී අමාත්‍ය ගම්මන්පිල මහතා නිසිලෙස සහ සකසුරුවමින් විදේශ විනිමය පාලනය අනවශ්‍ය වියදම් කපා හැරියහොත් අඛණ්ඩව  ඉන්ධන සැපයුමක් සහ විදුලි සැපයුමක් ලබාදීමේ හැකියාව  ඇති බව ද සඳහන් කළේය.

ඔක්ටේන් 92 කට සාපේක්‍ෂව ඔක්ටේන් 95 ඉතා සුළු වශයෙන් අලෙවි වුවත් 92 අවසන් වන විට ජනතාව 95 ට මාරු වන බව කී අමාත්‍යවරයා ඉන්ධන නැව් නිදහස්  කරගැනීමේ ප්‍රමාදය නිසා ඉන්ධන තොග පහත බැසීමෙන් නව තොග ලැබෙන තෙක් සැපයුම සීමා කළ බව පැවැසීය.  එම සීමා කිරීමේ අවසන් ප්‍රතිඵලය ලෙස ඉන්ධන පිරවුම්හල්වල සැපයුම ද සීමාවී ඇති බවත් එසේ නොවුණහොත් මුදල් ඇති අය බැරල්වලට ඉන්ධන පුරවාගැනීමෙන් දුප්පත් මිනිස්සුන්ට ත්‍රිරෝද රථයට සහ යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට නොහැකි වන බවත්  ඔහු සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදීය.

 -යොහාන් භාසුර --