wedding-murder

කොම්පඤ්ඤවීදිය ඩෝසන් පාරේ නිවෙසක පැවැති විවාහ මංගල උත්සවයක් අතරතුර ඇති වූ ආරවුලකින් මනාලයාගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මනාලියගේ පළමු විවාහයේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහාමඩ් ශ්‍යාබ්ඩීන් (51) නමැති පුද්ගලයකු වන අතර, ඔහු ත්‍රිරෝද රථ රියදුරකු වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය පවසයි. මෙම පුද්ගලයා පෙරේදා (16) සිය විවාහය ලියාපදිංචි කර රාත්‍රියේ නිවසේ මංගල උත්සවය පවත්වා ඇති බවත්, මංගල උත්සවය පැවැත්වෙන අතර

රාත්‍රී 10.00 ට පමණ මනාලියගේ කලින් විවාහයේ සැමියා පැමිණ මනාලයා සමග ආරවුලක් ඇති කරගෙන කඩදාසි කපන පිහි තලයකින්  ඔහුගේ ගෙල කපා දමා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මනාලයා කොළඹ ජාතික රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බවට වෛද්‍යවරුන් දැනුම් දුන් බව පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු සැකකරු පැනගොස් ඇති  අතර ඔහු ඊයේ (17) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර වීමෙන්  පසු අත්අඩංගුවට ගෙන ඇත. මනාලිය මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවක් බවත්, ඇයට පළමු විවාහයෙන් වැඩිමහල් දියණියක ද සිටින බවත් පොලිසිය පවසයි. ඇය කාති උසාවිය හරහා පළමු විවාහයේ සැමියාගෙන් ඉකුත් පෙබරවාරි 20 වැනිදාට දික්කසාද වී නව විවාහය කරගෙන ඇති බවද පොලිසිය කියයි.  සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඇය තමා සමග නීත්‍යනුකූලව දික්කසාද වී නොමැති බවත්, කාති උසාවියෙන් ලබා දෙන තීන්දු නීත්‍යනුකූල නොවන බවත්ය.
 -ඉන්දිකා රාමනායක--