wimal-udaya-politics

ඊයේ(4) විමල් සහ ගම්මංපිල යන ඇමතිවරුනගේ කැබිනට් ඇමති ධූර ගැලවීමට රජය ක්‍රියා කළේ ඔවුන් ‘මුළු රට හරිමගට‘ යනුවෙන් රැස්වීමක් පවත්වා රජයේ වැඩසටහන මෙන්ම මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ වැඩපිළිවෙල ප්‍රසිද්ධ විවේචනයට ලක් කළ නිසාය.


මෙම සිද්ධියෙන් පසුව කලෙක සිට විමල් හා රාජපක්ෂවරුන් අතර පැවති විරසක පුපුරාගිය අතර විමල්ගේ හා ඔහුගේ ළඟම සගයා වන ගම්මංපිලගේ තනතුරු ගැලවිණි.
මෙම ගලවා දැමීම වෙනුවෙන්ම කැබිනට් සංශෝධනයක් සිදු කළ අතර එය ‘කාට හෝ‘ තනතුර ලබාදී විමල් ඉවත්කිරීමට තිබූ අවශ්‍යතාවට කළ එකක් බව ඊයේ සිදුකළ ක්ෂණික පත්කිරීම තුළින්ද සනාථවේ.

අධ්‍යාපන ඇමතිකම බාරගන්න එන්නැයි කියූ නිසා ගෙදරින් ගිය එස්බී දිසානායක මන්ත්‍රීවරයා අවසානයේ කර්මාන්ත ඇමතිවී ගෙදර ගියේය.

මෙම වෙනසින් පසු අද (4) ‘මුළු රට හරිමගට‘ සම්බන්ධවූ පක්ෂ 11 ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ඔවුනගේ ඉදිරි දේශපාලන ගමන්මග ගැන තීන්දුවක් ගන්නා බවත් තනතුර ඉවත් කිරීමෙන් පසු උදය ගම්මංපිල මහතා ඉංග්‍රීසි පුවත්පතක් කළ විමසීමකදී පවසා තිබේ. ඔහු කියන්නේ තමා රජයේ අඩුපාඩු ගැන ජනපති වෙත දිගින්දිගට දැනුවත් කිරීම් කළ නමුත් ජනපති එයට ඇහුම්කන් නොදුන් බවත් කන්ඩායමක් ලෙස එක්ව මෙම විවේචනය යොමු කළේ ඒනිසා බවත්ය. තමා කියූ සියලු කරුණු ඇත්ත බවත් ඒගැන පසුතැවෙන්නේ නැති බවත් කියා ඇති ගම්මංපිල මහතා ඉදිරියේදී තමන් ඇතුළු අනෙක් පක්ෂ එක් ස්ථාවරයක සිට කටයුතු කිරීමට ඉටාගෙන  ඇතැයිද අද සාකච්ඡාවෙන් පසු පවත්වන මාධ්‍ය හමුවකදී වැඩිදුර කරුණු හෙළි කරන බවද පවසා ඇත. මෙම කණ්ඩායම විපක්ෂයට එක්වනවාද නැද්ද යන්න තවම තීරණය නොකළ බව ගම්මංපිල කියා ඇත.


උදය ගම්මංපිල, විමල් වීරවංශ සමග එදින රැස්වීමට එක්වූ වාසුදේව නානායක්කාර ඇමතිවරයා ගැන හෝ, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රීලනිප කන්ඩායමේ ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැත. අද දිනයේ වාසුදේව ඇමතිවරයා සිය ඉල්ලා අස්වීම භාරදෙන බවට ආරංචි පවතී. රැස්වීමට එක්වූ
ජාතික උරුමයන්, රංග කලා, සහ ග්‍රාමීය කලා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත යන අය ගැනද තීරණයක් ගෙන නැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ පොදුජන පෙරමුණේ විනය කමිටුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහභාගී වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි.

“මුළු රට හරි මගට” නමින් සිය ජාතික ප්‍රකාශය එළිදැක්වීමට රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ 11ක එකතුවක් පැමිණ සිටි අතර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ජාතික නිදහස් පෙරමුණ (NFF), ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය (PHU), ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණි ජාතික සභාව, මහජන එක්සත් පෙරමුණ, සහ යුතුකම ජාතික සංවිධානය එක්ව තිබුණි.