The-body-of-a-businessman-who-was-mysteriously-murdered-a-year-ago-is-being-recovered

ආණමඩුව, වටුවත්තෑව වැව ආසන්නයේ ඉඩමකදී වසරකට පෙර අබිරහස් ලෙස ඝාතනය කර වළ දමා තිබූ විදේශගත ව්‍යාපාරිකයකුගේ සිරුර පෙරේදා (04දා) රාත්‍රියේ ගොඩ ගැනීමෙන් පසුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යෑමට ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂිකා

පටබැදිගේ මහත්මිය අපරාධ පණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය. කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වසර 15කට ආසන්න කාලයක් ඉතාලියේ දරුවන් හා බිරිද සමග ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන 58 හැවිරිදි අන්නමලේ පලනි මාඕලිව් නැමති දෙදරු පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි. මොහු ඉතාලීයේ රැකියාව කර ඉන් පසු එහි ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන ගිය අයෙකු බව කියයි. පසුගිය වසරේ මැයි (06)දා දිවයිනට පැමිණ ඇති මොහු, ඔහු විසින් මිලදී ගෙන තිබූ ආණමඩුව,

වටුවත්තෑව වැව ආසන්නයේ ඉඩමට පැමිණීමත් සමග අබිරහස් ලෙස අතුරුදන්ව ඇති බව ඔහුගේ බිරිඳ මෙරටට පැමිණ පොලීසියට පැමිණිලි කර තිබිණි.ඒ සම්බන්ධව ආණමඩුව පොලීසිය සිදු කළ විමර්ශනවලින් පසුව මෙම ව්‍යාපාරිකයා සමග සමීප හිතවත්කමක් පවත්වාගෙන ගිය ආණමඩුව මොන්නෑකුලම, කොරලයාගම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා මෙම ව්‍යාපාරිකයා සතු බැංකු කාඩ්පත භාවිත කරමින් ව්‍යාපාරිකයා අතුරුදන් වූ දින සිට දින 14ක් තුළ දිනකට ලක්ෂය බැගින් ලක්ෂ 14ක් බැංකුවෙන් ලබා ගෙන පුද්ගලයා  තිබූ අයුරු ආණමඩුව පොලීසිය පරීක්ෂණවලදී සනාථ කර ගෙන තිබුණත් ඝාතනය සම්බන්ධව වැදගත් තොරතුරක් සනාථ කර ගැනීමට නොහැකි වී තිබිණි.ඒ අනුව අදාළ සැකකරුට ආණමඩුව අධිකරණයේදී ඇප නියම වී තිබූ අතර අදාළ ව්‍යාපාරිකයාගේ මරණය අබිරහසක්ව පැවතිණි.

පසුව ව්‍යාපාරිකයාගේ බිරිද මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමත් සමග පරික්ෂණ ආරම්භ කර  තිබිණි. ඒ අනුව අධිකරණ ඇප මත සිටි මෙම ව්‍යාපාරිකයාගේ සමීප හිතවතා ලෙස සැලකෙන තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් නැවත අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී සියලු තොරතුරු සනාථ කර ගෙන තිබුණි. අදාළ සැකකරු පාපොච්චාරණය කර තිබුණේ අදාළ ව්‍යාපාරිකයාට ඉඩම ම්ලදී ගැනීමට තමන් මැදිහත් වූ බවත් ඉන්පසු එහි පොල් වගා කිරීමට ලක්ෂ 30 ක මුදලක් එවූ බවත් සහ තවත් අවස්ථා කීපයකදී තවත් මුදල් එවූ බවත්ය.

එසේ එවූ මුදලින් පොල් වගා කළද ඉත්තෑවන් කා දමා පොල් වගාව වැනසී යැම නිසා 2021 මැයි මාසයේ ඉඩමට පැමිණි අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමකින් පසු තල්ලු කිරීමක් සිදු වූ බවයි.ඉන්පසු අදාළ ව්‍යාපාරිකයා මරණයට පත්ව සිටීමෙන් පසු ඉඩමේ කොනක පොල් වගාව සඳහා යොදා ගත් වළකට දමා වළ දැමූ බවද සැකකරු පවසා තිබිණි. ඒ අනුව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන  හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අදාළ ඉඩම තුළ කැණීම් කිරීමට අවසර ලබා ගෙන තිබිණි. එසේ ලබා ගත් අධිකරණ නියෝගයෙන් පුත්තලම  මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කුලේන්ද්‍ර ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ස්ථානයේ කැණීම් කිරීම් පෙරේදා (04දා) උදෑසන 9.00ට පමණ ආරම්භ කරන ලදී.

එසේ කැණීම් කිරීම්වලදී අත්අඩංගුවේ පසුවන සැකකරු පැවසු තොරතුරු මත කැණීම් කළ ද මළසිරුර සොයා ගත නොහැකිව තිබූ අතර පසුව එම ස්ථානයට නුදුරින් වූ ස්ථානයක අඩි 8කට වඩා ගැඹුරක පැදුරක ඔතා තිබූ සිරුර සොයා ගැනීමට  අදාළ කණ්ඩායම සමත්ව තිබිණි. අනතුරුව එම ස්ථානයට පැමිණි ආණමඩුව මහේස්ත්‍රාත්වරිය වළ දමා තිබූ අදාළ සිරුර පක්ෂ කිරීමෙන් පසුව පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත එය යොමු කිරීමට නියෝග කළාය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උපපොලිස් පරික්ෂක පියල් හා සමීර ආණමඩුව පොලිස් ස්ථානාධිපති ජගත් කුමාර හා අපරාධ අංශ ස්ථානාධිපති එච්.එස්.ජයරත්න යන නිලධාන් ඇතුළු පොලිස් නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)