battaramulla-begger-attack

පෙරේදා (26) රාත්‍රී 10.00ට පමණ බත්තරමුල්ල පැලවත්ත පාරේ සුපිරි වෙළෙඳසලකට ගොස් භාන්ඩ ලබාගෙන නැවත තමා පැමිණි යතුරු පැදිය වෙත ගමන් කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරයෙකු ඔහු අසළට ආ සිඟන්නෙකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්ව මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තාවිය.
වාර්තාවන ආකාරයට සුපිරි වෙළෙඳසලින් පිටතට පැමිණි වෛද්‍යවරයා වෙත මෙම සිඟන්නා ස්ටිකර් පෙන්වා විකුණන්නට උත්සාහ දරා ඇති අතර වෛද්‍යවරයා ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් ප්‍රතික්සේපයෙන් නොනැවතී සිඟන්නා යළි යලිත් ඔහු වෙත පැමිණෙමින් එය විකුණන්නට දෙවැනි තෙවැනි උත්සාහයන්ද සිදු කර ඇතැයි අසළ සිට සිද්ධිය නිරීක්ෂණය කළ සුපිරි වෙළෙඳසල් ආරක්ෂකයා වාර්තා කළේය.


එම අවස්ථාවේ දිගින් දිගටම සිදුවන කරදරය නිසා තරමක් කෝපයට පත් වෛද්‍යවරයා ‘තමුන්ගේ අතපය හොඳින් තියනවා නේද?.. ඇයි මෙහෙම කාට හරි කරදරයක් වෙන්නේ ගිහිං රස්සාවක් කරන්න පුළුවනි නේදැයි‘ විමසා ඇත.
මෙම විමසීම නිසා සිඟන්නාද කෝපයට පත්ව ඇති අතර ඔහුද වෛද්‍යවරයාට එකට එක කියමින් බැණවැදී ඇත.
එම අවස්ථාවේ ගැටුම දුටු ආරක්ෂකයා සිඟන්නාව එතැනින් පළවා හැර සිද්ධිය සමථයට පත් කරන්නට උත්සාහ කර ඇති අතර සිඟන්නා එතැනින් ටික දුරකට මෑත්වී ඇත. කෙසේ වෙතත් වෛද්‍යවරයා නිවසට යාමට සූදානම්වී තමන්ගේ බඩු මල්ල යතුරු පැදියේ සවිකරමින් ටික වේලාවක් ගත කර තිබෙන අතර එම අවස්තාවේ ආරක්ෂකයාද යලි ඔහු සිටි තැනට ගොස් ඇත. මෙම අවස්ථාවේ එක්වරම ඈතක සිට දිව ඇවිත් තිබෙන සිඟන්නා වෛද්‍යවරයාගේ සිරුර දෙසට පිහියකින් ඇනගෙන ඇනගෙන ගොස් ඇති අතර වෛදයවරයා එතැනට ඇදවැටී තිබේ.


අනතුරුව සිඟන්නා පලාගොස් ඇත.
ඇද වැටුණ වෛද්‍යවරයා කෙඳිරිගාමින් සිට ඇති අතර ආරක්ෂකයා ඒ ගැන තලංගම පොලිසියට දැනුම්දී ඇත. පොලිසිය පැමිණ ඔහුව රෝහල් ගත කිරීමට කටයුතුකර තිබේ. එහිදී වෛද්‍යවරුන් තුවාලකරු පරික්ෂාකොට ඔහු මියගොස් ඇති බවට පවසා ඇත. සැකකාර යාචකයා පලාගොස් ඇති අතර, ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා මගින් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

සිගමන් ඉල්ලා නොලැබීම නිසා කෝපයට පත්වූ යාචකයාගේ පිහි ඇනුමින් මියගොස් ඇත්තේ මාලඹේ  පොතුඅරාව පාරේ පදිංචිව සිටි නිශ්ශංක ගුණවර්ධන නමැති 57 හැවිරිදි ආයුර්වේද  වෛද්‍යවරයෙකි.