‘ගෝටා ගෝ හෝම්‘ , ‘රාජපක්සස් ගෝ හෝම්‘ කියමින් රට පුරා දැවැන්ත මහජන විරෝධයක් පවතිද්දී රජය ජනතාවට සෑහීමකට පත්වන ආකාරයේ විසඳුමක් ලබාදීමට තවම අපොහොසත්වී තිබේ.
විදුලිය කැපිල්ල, තෙල් ප්රශ්නය, ගෑස් ප්රශ්නය, ඉහළ යන බඩු මිල දිනෙන් දින අර්බුදයට ලක්වන අතර ඒවාට අදාළ ඇමතිවරු පවා අස්වී වගකියන්නන් අවිනිශ්චිතව ගොස් මුළුමනින් අරාජක තත්වයට රට පත්ව තිබේ.
ඇඳිරි නීතිය, හදිසි නීතිය,සමාජ මාධ්‍ය තහනම, උද්ඝෝෂකයින් අල්ලා දඩුවම් පැනවීම වැනි මර්දනකාරී පිළිවෙත් පවා රජයට වාසියක් අත් නොකළ අතර පාරාවලල්ලක් ලෙස විරෝධය තවත් තීව්ර කිරීමට ඒවා හේතු විය.
මාර්තු අග දක්වා ජනතා අප්‍රසාදය ඉඳහිට ලැබුණ ‘හූවකින්‘ පමණක් ප්‍රකාශවී තිබූ අතර එය හරිහැටි වටහා නොගෙන සිටි රජයට මිරිහානේ සිද්ධිය හොඳට දැනවූ එකක් විය.
තැනින් තැනින් සුළු වශයෙන් ඇරඹි ජනතා විරෝධය ඉහළ ගියේ බ්‍රහස්පතින්දා රෑ මිරිහානට ඇවිත් ‘ගෙදරටම කෑගසා‘ යාමේ සංසිද්ධියෙන් පසුවය. එය මර්දනයට ගත් පියවර රජයේ අභ්‍යන්තරයේ පවා විවේචනයට හසුවිය.
අවසානයේ ජනතාවඉල්ලා සිටි ගෝටා ගෝ හෝම් වෙනුවට - ‘බැසිල් ඇන්ඩ් නාමල් ගෝ හොම්‘ උත්තරය ලබාදී ඇති මුත් උද්ඝෝෂණ අවසන්වී නැත.
කැමතිනං භාරගන්නැයි ඇමති තනතුරු නොමිලේ වෙන්දේසි කර ඇතත් කිසිවෙකු ලංසු තබන පාටක්ද නැත.
ඊයේ (5) පාර්ලිමේන්තුවේදී සිතූ තරම් කලබලයක් ඇති නොවීමද විමතිදායකය. වැඩිදෙනෙක් කියා සිටියේ තමන්ට ඇතිවූ ප්‍රශ්න ගැනයි.රොෂාන් රණසිංහ පැය භාගයක් තිස්සේ තමන්ගේ නිවසට පහරවැදීමේ ගැටලුව ඉදිරිපත් කළේය.කංචන විජේසේකර පුළුවන්නං 113 පෙන්නන්නකෝ අභියෝග කළේය. මෙතරම් අර්බුදයක් රටේ තිබියදී අගමැති මහින්ද පැමිණ සිටියත් වචනයක්වත් කතා කළේ නැත. බැසිල්ද පෙනී සිටියා පමණි. කතා කළේ නැත.
158 ක් සිටි ආන්ඩුවේ 41 දෙනෙකු ස්වාධීනවූ අතර බහුතරය 117 ක් ලෙස පෙන්නුම් කෙරිණි. මේ අය අතරින් තවත් පිරිසක්ද අද (6) ස්වාධීන වනු ඇතැයි ආරංචි පළව තිබේ.
ඊයේ (5) සවස ශ්‍රීලනිප කණ්ඩායම සමග ජනපති පැවති සාකච්ඡා අසාර්ථකවූ අතර එහිදී 14 දෙනාගේ සහය ලබාගන්නට බැරි බව තේරුම් ගන්නා ලදි. ඔවුන් තනතුරු භාර නොගන්නා බව මෙන්ම හදිසි නීතියට ඡන්දය නොදෙන බව සෘජුවම පවසා තිබුණි.
ඒ අනුව 1 වනදා හදිසියේ ජනපති අත්සන් කළ හදිසි නීති ගැසට්ටුව ඊයේම හදිසියේ යලි හකුළා ගත්තේය. ඊට හේතුවූයේ පාර්ලිමේන්තු බහුතරයකින් එය සම්මතකිරීම අවිනිශ්චිත බැවිනි. පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් තොරව ජනපති අභිමතයට හදිසි නීතිය පවත්වා යා නොහැකිය. මෙම සතියේ හදිසි නීති ඡන්ද විමසීමක් දාගතහොත් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවයාම සම්බන්ධ අපකීර්තිමත් ප්‍රතිඵලය ලැබෙන්නට ඉඩ ඇති නිසා කල් ඇතිවම එය ‘රිවර්ස්‘ කරගත් බව පෙනී යයි.
ජනපති පත්කළ මුදල් ඇමති තනතුරට බැසිල්ගේ නම ඉවත් කර දැම්මේ සබ්රිය.නමුත් ඔහු පැය 24 ක් යන්නට පෙර ඉල්ලා අස්වූයේ මෙම අවස්ථාවේ අනවශ්‍ය නොදන්නා දෙයකට අතගසා දේශපාලන අනාථයෙකු වීමට ඇති නොකැමැත්ත නිසාය. සබ්රී වෙනුවට බන්දුල ගුණවර්ධන මුදල් ඇමතිවන්නට කැමැත්ත පළ කළ නිසා ඔහු අද දිවුරුම් දෙනු ඇත.
කෙසේ වෙතත් අර්බුදය තවම නැවතුන තැනම තිබේ. ජාතික ආන්ඩු හදා මෙය විසඳන්නට විමල් ඇතුළු පිල උත්සාහ කළත් එය තවම සාර්ථක කරගන්නට අපහසුවී ඇත්තේ සජිත්,අනුරකුමාර හෝසුළු ජන පක්ෂ ඒ වෙනුවෙන් පැහැදිලි කැමැත්තක් දක්වා නැති නිසාය. සජිත් ඊයේ කියා සිටියේ මේ සතිය තුළ බහුතරයකින් ‘විධායක ජනපති තනතුර‘ ඉවත්කරනවානම් අපි කැමතියි කියාය. නාමල් කියා සිටියේ ‘තාමත් වෙලාව තියනවා ඔබට මේ දේ විවෘතයි.. ජනපතිතුමා ආණ්ඩුවක් හදන්න අවස්ථාවක් දීලා තියනව ඒ නිසා ඔබ තීරණයක් ගන්න‘ ලෙසිනි.
ජනතා උද්ඝෝෂණ තවම නිමවී නැති අතර සාමකාමී විරෝධය සිදුවෙද්දී ප්රචණ්ඩත්වය පුද්ගලික පලිගැනීම්ද බොරදියේ මාලු බාමින් සිදුවෙමින් පවතී.
0 Comments