අගවිනිසුරුතුමා බුද්ධිමත් පුරවැසියන් දස දෙනකු තමා යටතට ගෙන රටේ පාලනය බාරගත යුතු බවත්, තාවකාලික රජය ජනතාවගේ ජීවන බර අඩු කිරීමට වහා පියවර ගත යුතු බවත් සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. පවුල් බලය මත තනතුරු ලබා සිටින සියලු නිලධාරීන්

සහ තානාපතිවරුන් ඉවත්කර ඒවාට සුදුස්සන් පත් කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ. පක්ෂ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවෙන් ඉවත් කර ජනාධිපති ධුරය අහෝසි කිරීමටත්, සියලු බලතල අලුතින් පත්වන පාර්ලිමේන්තුවට පවරා දී පාර්ලිමේන්තුවෙන් විධායකය තෝරා ගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත් ඒ.ටී. ආරියරත්න මහතාගේ නිවේදනයේ  දැක්වේ.



නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්  තෝරා ගැනීමේදී පක්ෂවලට විශේෂ වරප්‍රසාද නොදී ප්‍රජා නායකත්වයට සමාන අවස්ථා ලබාදිය යුතු බව ද අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමට  මන්ත්‍රීවරුන්ට ඉඩ දිය හැකි ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව ද එහි සඳහන් වේ. වංචනිකව උපයාගත් සියලු මුදල් සහ දේපොළ මහා භාණ්ඩාගාරයට පවරා ගත යුතු බවද එම නිවේදනයේ දැක්වේ.  මේ වන විට රටේත් ලෝකයේත් වැඩි දෙනාගේ සමච්චලයට ලක්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉහත නිර්භීත පියවරක් ගත හැකි නම් ඔහුට ආත්ම ගෞරවය රැකගෙන ගෙදර යා හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.