Jaffna-Ilavali-police-sergeant-arrested-for-accepting-Rs-30000-bribe

සැකකරුවකු රජයේ සාක්ෂිකරුවකු කර නඩුවෙන් සහනයක් සලසා දීමට අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 30,000ක් ලබාගත් බව කියන යාපනය ඉලවාලි පොලීසියේ අධිකරණ සැරයන්වරයකු ඉලවාලි ප්‍රදේශයේදී ඊයේ (05) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ  විමර්ශන අධ්‍යක්ෂ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක විතානගේ මහතා පැවසීය. අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ඉලවාලි පොලීසියේ අධිකරණ අංශයේ පොලිස් සැරයන්වරයකු බව ද ඔහු සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ යාපනය ඉලවාලි ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයකු වන බව ද හෙතෙම පැවසීය. පැමිණිලිකාර තරුණයාගේ වෙළෙඳ සලේ සොරබඩු ඇති බවට පවසමින් පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව ඔහු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර ඇති බවත් අල්ලස් කොමිසම පවසයි.



තමන් එම නඩුවේ සැකකාර බවින් මුදාහැර රජයේ සාක්ෂිකරුවකු කර සහනයක් සලසා දීමට නම් අල්ලස්  වශයෙන් රුපියල් 50,000ක මුදලක් අවශ්‍ය බවට සැකකාර පොලිස් සැරයන් පැවසූ බවත් ඒ අනුව ඉන් රුපියල් 30,000ක මුදලක් ලබා දීමට තමන් පොරොන්දු වූ බවත් පැමිණිලිකරු අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි ද එම කොමිසම සඳහන් කරයි. එම පැමිණිල්ලට අනුව කොමිසමේ උපායදූතයකු යොදවා කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු අද (06) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.


 නිමන්ති රණසිංහ