champika-speaks

ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමේ ජාතික අභියෝගය භාර ගැනීමට සුදානම් බවත්, ඒ අනුව කුසලතා පරපුර සඳහා රට භාර දිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම වර්තමානයේ රට මුහුණ දෙමින් සිටිනුයේ විප්ලවීය පරිවර්තනයන් සිදු වන අවස්ථාවක බව ඊයේ (07දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එවෙමින් හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,"අද අපේ රට මුහුණ දෙමින් සිටින්නේ විප්ලවීය පරිවර්තනයන් සිදු වන අවස්ථාවකයි. අද මේ රටේ ජනතාව කිසිදු භේදයකින් තොරව තමන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් පෙරට ඇවිත් තිබෙනවා. දේශපාලනය පිළිබඳ මෙතෙක් කතා නොකළ පිරිස් පවා දේශපාලනය ගැන කතා කරන්න පෙළඹිලා තිබෙනවා. අද නව පරපුර සමාජ මාධ්‍ය, සුහුරු තාක්ෂණය පාවිච්චි කරමින් අද විවෘත ආකාරයෙන් අරගලයට පිවිසිලා තිබෙනවා. අපි එකක් මතක තබා ගත යුතුයි.



සම්ප්‍රදායික ක්‍රමය පිපිරී ගොස් අවසන්. ඒ සමගම සම්ප්‍රදායික පක්ෂවලට, සම්ප්‍රදායික මතවාදවලට, සදායික ක්‍රියාමාර්ගවලට ඇති ඉඩකඩ අද ඇහිලා තිබෙනවා. අපිට නොයෙක් දේ කියන්න පුළුවන්. වසර 74ක ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්. ධනේශ්වර ක්‍රමය ගැන කතා කරන්න පුළුවන්. අපි බොහොම පැහැදිලිව කියනවා මේ රට තිබෙන්නේ රටක් ලෙස බංකොලොත්භාවයට පත්වෙලා. බංකොලොත්භාවය විවිධ ආකාරයකින් කල් දමා ගනිමින්, බංකොලොත්භාවයත් ඇරිස් කර ගනිමින් යන ගමනක් තමයි තිබෙන්නේ. නොයෙක් සුබ ප්‍රාර්ථනා ප්‍රකාශ කරනවා ඩීසල් පෝලිම් නවතිනවා, විදුලි බලය ඇති වෙනවා කියලා. විවිධ ආකාරයේ ගිවිසුම් ගසමින් අපේ රටේ ආර්ථික ස්වෛරිත්වය, ද

ේශපාලන ස්වෛරිත්වය,

බලශක්ති ස්වෛරීත්වය පාවාදෙමින් තවත් දවස් 05කට ඩීසල් ලබා දෙන, තවත් සතියකට විදුලි බලය ලබා දෙන්න යනාදී වශයෙන් වන ක්‍රියාමාර්ග තමයි ආණඩු පැත්තෙන් ගනිමින් තිබෙන්නේ. දැන් මොකක්ද විසඳුම 225ම එපා කීමද? පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යමද? එහෙමත් නැතිනම් මේ අර්බුදය කල්දමමින්, බලයේ එල්ලී සිටිමින් ජනාධිපතිතුමත්, අගමැතිතුමත් අනුක්‍රමයෙන් ලේ වැගිරෙන තත්වයක් දක්වා ගමන් කිරීමද? මේ තත්වය යටතේ මැතිවරණ පවත්වන්න ගියොත්, ඡන්ද කොළය අච්චු ගහ කොළ නොමැති රටක් මේක. ඒ වගේම ඡන්දය ගණන් කරන ලයිට් නැති රටක් මේක. ඒ නිසා මැතිවරණයකට යනවා නම් රට අපි සාමකාමී කරන ඕන.

මේ අභියෝගය අපි භාරගන්නවාද? ඔව් අපි මේ අභියෝගය භාරගත යුතුයි. ඒ වගේම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අත්වෙන්නේ නැතිනම් ජනාධිපතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදනය ජනතාව තුළ තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය.


(දිනේෂ් සමරකෝන්)