drug-shortage

ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය හිඟවීමට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා මේ වනවිට ඖෂධ වර්ග 525ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 5,376ක් හිඟ වී තිබෙන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 1,358ක් තිබිය යුතු බවත්, ඉන් 525ක තොග අවසන් වී තිබෙන බැවින්

ෙය සමස්ත ඖෂධවලින් 38.7% හිඟයක් බවත් එම සංගමයේ සභාපති අජිත්  තිලකරත්න මහතා පැවසීය.  ශල්‍ය ද්‍රව්‍ය වර්ග 8,553ක් තිබිය යුතු බවත්, එහෙත් මේ වනවිට ඉන් වර්ග  5,376ක් හිඟ වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 62.9%ක් බවත් සඳහන් කරන ඒ මහතා, හිඟ වී තිබෙන ඖෂධ සැලකීමේදී ඉන් වර්ග 06ක් ජීවිතාරක්‍ෂක ඖෂධ බවත්, වර්ග 239ක් අත්‍යවශ්‍ය ඖෂධ බවත් පවසා සිටියේය.

හිඟව පවතින ඖෂධ අතර ජලභීතිකාවට භාවිත කරන ඖෂධ හා හෘදයාබාධ සඳහා භාවිත කරන ඖෂධ පවතින බවත්, හිඟව පවතින ශල්‍ය ද්‍රව්‍ය සැලකීමේදී වර්ග 2,72ක් අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය වන අතර, ශල්‍ය ද්‍රව්‍ය හිඟය නිසා බොහෝ ශල්‍යකර්ම සීමා සහිතව සිදුකිරීමට සිදුව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. මීට අමතරව රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිකුත් කිර්ම සීමා සහිතව සිදුවන බවත්, එබැවින් රෝගීන්ට අවශ්‍ය බොහෝ ඖෂධ විශාල මුදලක් ගෙවා පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් අජිත් තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.



මේ නිසා පවතින මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත්, ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය හිඟයට විසඳුම් ලබාදෙන ලෙස මේ වසර ආරම්භයේ සිටම සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටි අතර, එහෙත් අදාළ ගැටලුව විසදීමට කටයුතු නොකිර්ම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


 -එච්.අයි. තුෂාර-