gota-go-home-strike

ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් අද (08දා) රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් එක්දින වැඩවර්ජනයක් සිදුකරන බවත්, මීට සමගාමීව දිස්ත්‍රික්ක 25 තුළ විරෝධතා ව්‍යාපාර25ක් පවත්වන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය  සඳහන් කරයි.  මීට අමතරව ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින්



අද රෝහල් හා සෞඛ්‍ය ආයතන 600ක් ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාර පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.  එක්දින වැඩවර්ජනයට සමගාමීව දිස්ත්‍රික්ක 25 මූලික කර ගනිමින් පවත්වන විරෝධතා ව්‍යාපාරවල ප්‍රධාන විරෝධතාව අද සවස 3.00ට කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්වෙන බවද වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කමිටු සාමාජික මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.



"ජනතා විරෝධයට ඇහුම්කන් දෙනු, මදනය නවත්වනු, අත්අඩංගුවට ගත් පිරිස් වහා නිදහස් කරනු, ඖෂධ හිඟයට පිළියම් යොදනු, රෝගීන් රැකගැනීමට අත්‍යවශ්‍ය සැපයුම් සෞඛ්‍ය සේවයට. ලබාදෙනු, ජනජීවිතය සුරක්‍ෂිත කරනු ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ පිරිස් අද උදෑසන 11.00 සිට සවස 1.00 දක්වා පැය 02ක විරෝධතාවක් පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මෙම ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය සේවාවේ එක්ලක්‍ෂ පනස්දහසකට අධික පිරිසක් සම්බන්ධ වන බවත්, වෘත්තීය සමිති විසින් සිදුකරන මෙම විරෝධතාවලට ජනතාවටත් සම්බන්ධ විය හැකි බවත් එම එකමුතුවේ කමිටු සාමාජික සමන් රත්නප්‍රිය මහතා පැවසීය.