gota-go-home-strike

ජනපතිවරයාගේ ඉල්ලා අස්වීම හා ජීවන වියදම අඩු කරන ලෙස දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට
රාජ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධවී සාකච්ඡා කරමින් පවතින බව වාර්තාවේ.



වර්තමාන අර්බුදය විසඳීමට දේශපාලන බලධාරීන් අපොහොසත් වීමට එරෙහිව අදියර කිහිපයකින් විරෝධතා දැක්වීමට රාජ්‍ය සේවකයින් තීරණය කර ඇති බවත් ඒ අනුව තුන්වන අදියර ලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට සාකච්ඡා කරමින් පවතින බවත් ඔවුන් දන්වා තිබේ.



පවතින අර්බුදකාරී තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස රජයට බලකරමින් සියලුම රාජ්‍ය සේවකයින් අද (6) පස්වරුවේ දිවා විවේකයේදී නිහඬ විරෝධතාවයක නිරත වන බවද ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය (SLGOTUA) ඊයේ නිවේදනය කළේය.

මීට අමතරව දිවයින පුරා පිහිටි පාසල්වල ගුරුවරුන් 247,000කට ආසන්න සංඛ්‍යාවක් සහ විදුහල්පතිවරුන් 16,000ක් අද දිනයේ සියලුම කලාප අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාමට සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විරෝධය පළ කරමින් පසුගිය මාස කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා රැසක් පැවැතිවුණි. පසුගිය කාලයේ මෙම ප්‍රශ්න උග්‍රවීමත් සමඟ ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් දිවයින පුරා විරෝධතා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.



මේ අතර දැනට පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතනවල මතුව ඇති ගැටලුවලට රජය විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී රාජකාරිවලින් ඉවත්වීමට සිදුවන බවට රාජ්‍ය සේවකයන් ලක්ෂ 6කට ආසන්න සංඛ්‍යාවක් සිටින SLGOTUA පසුගියදා අනතුරු ඇඟවීය.
SLGOTUA ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා එම අවස්ථාවේදී පැවසුවේ “දිගුකාලීන විදුලි කප්පාදුව නිසා රාජ්‍ය ආයතනවලින් 90%ක පමණ කටයුතු ඇණහිට තිබෙන බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසකට විදුලි ජනන යන්ත්‍ර ද ලබා දී නැති අතරම ජෙනරේටර් තිබුණත් ඩීසල් හිඟය නිසා ඒවා ක්‍රියාත්මක කරන්න නොහැකිවී ඇති බවත්ය.



මේ නිසා බොහෝ රාජ්‍ය ආයතනවලට පැමිණෙන ජනතාවට සේවා ලබා නොගෙන ආපසු යාමට සිදුව ඇති බව සඳහන් කළ ඒ මහතා මේ තත්ත්වය තුළ රාජ්‍ය ආයතන සුමටව පවත්වාගෙන යාමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බවද පැවසීය.
“රාජ්‍ය සේවකයින් පමණක් නොව සමස්ත ජනතාවම මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටිනවා. ඒ නිසා රජය වහා මැදිහත් විය යුතුයි මේ ගැටලුවලට විසඳුම් දෙන්න. එසේ නොවුවහොත් රාජ්‍ය සේවකයන් ලෙස අපට රාජකාරිවලින් ඉවත් වීමට හෝ සේවයට වාර්තා කරන දින ගණන අඩු කිරීමට සිදුවනු ඇත. වැඩට ඇවිල්ලා ආසන උණුසුම් කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔහු ප්‍රශ්න කළේය.