hirunika-gnanakka

මිරිහානෙට ගිය ගමනත්, අනුරාධපුරයට ගිය ගමනත්, කෑගල්ල හරහා පැමිණි ගමනත් මගින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම යළිත් පුවත් මවන්නට ගත්තේය. පුවත්පතක් සමග ඇය අද දින ලවත්වා ඇති සංවාදයක් පහත පළවේ.
 
විරෝධතා හරහා යළිත් හිරුණිකා නම කරළියට ආවා. අරගලයට ඔබ ශක්තියක් වුණාද නැතිනම් මේ මොහොතේ මතුවෙන අරගලය ඔබට ශක්තියක් වුණාද?

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ නිවෙස් ඉදිරිපිටට ගිහින් ප්‍රශ්න කළ යුතුයි කියලා මම කීවෙ අද ඊයෙක නෙමෙයි. එදා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිටට කාන්තාවන් අරගෙන ගිහින් අපි ඒ මෙහෙයුම ආරම්භ කළා. රටේ දැන් තියෙන ඇත්ත තත්ත්වය අවබෝධ කරගෙන මේ වෙද්දි සියලුම ජනතාව එළියට බැහැලා තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා. නමුත් දැන් දැන් මේ විරෝධතාවල අපරාධමය තත්ත්වයක් ඇතිවෙලා. ඒ ගැන නම් කනගාටුයි.



විරෝධතා සංවිධානය කරන අයටත් ඒවා පාලනය කරගන්න බැරි තැනට ඇවිත් කියන එකද ඔය කියන්නේ

පැහැදිලිවම, මේ අපරාධමය තත්ත්වයන් ඇති කරන්නේ සාමාන්‍යය ජනතාව නෙමෙයි. ආණ්ඩුව විසින්ම සාමාන්‍ය මිනිස්සු අතරට විවිධ පුද්ගලයන් දාලා ගැටුම් ඇති කරන්න උත්සාහ කරනවා. අපේ සාමාන්‍ය ජනතාව මේ ආණ්ඩුවේ නියෝජිතයන්ගේ ගොදුරු බවට පත්වෙනවා. මේ ජනතා විරෝධතාවය අපරාධමය ක්‍රියාවක් බවට පත් කරලා හමුදාමය පාලනයක් ගෙන යෑම සහ මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන අරගලය නැවැත්වීම තමයි මේ ආණ්ඩුවේ මූලිකම බලාපොරොත්තුව. ඒ නිසා කිසිම අපරාධකාරී ක්‍රියාවකට සම්බන්ධ නොවී, එවැනි පුද්ගලයන්ට අනුබල නොදී ,දේපළ හානි නොකර, සාමකාමීව තමන්ගේ විරෝධතාවල, අරගලවල නිරතවෙන්න කියලා මම සාමාන්‍යය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැති ඇමැතිවරුන්ගේ නිවෙස් ඉදිරිපිටට ගිහින් මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලගන්න පුළුවන්ද?


මගේ මූලික අරමුණ වුණේ ඔවුන්ව අපහසුතාවට පත් කිරීම. අපෙන් හොරා කාපු සල්ලි කෝ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ උදවිය අහිංසක ජනතාවගේ ප්‍රශ්නවලට දීලා තියෙන උත්තර මොනාද ? කියලා රටේ මිනිස්සු එක දිගට ඔවුන්ගේ නිවෙස් ඉදිරියට ගිහින් ප්‍රශ්න කරද්දී මැති ඇමැතිවරුන් ලජ්ජාවට පත් වෙනවා. දිගින් දිගටම මහජනතාවගෙන් බලපෑම් එල්ල වෙද්දී ඇතිවෙන ලජ්ජාවත් එක්ක තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දරන්න ඔවුන්ට හැකියාවක් නැහැ.

මේ වෙලාවේ දේශපාලනික වශයෙන් ගත යුතු හොඳම තීරණය ලෙස ඔබේ යෝජනාව මොකක්ද?

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඉල්ලා අස්වෙලා කරන්න පුළුවන් අයට අවස්ථාව දීම හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම දැන් ගත යුතු හොඳම තීරණය කියලා මම හිතනවා. ජනතාවට තීන්දුවක් ගන්න ඉඩ දුන්නොත් කාටද මේක භාර දෙන්නේ කියන එක ජනතාව තීන්දු කරයි. තනි පුද්ගලයෙක් නෙමෙයි පුද්ගල කණ්ඩායමක් වගේම නව ව්‍යවස්ථාවක් යටතේ නව වැඩපිළිවෙළක් යටතේ මේ පවතින ක්‍රමවේදය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. කවුරුන් හෝ අලුතෙන් පත්වන පිරිස ජනතාව අතරට ගිහින් ඇත්ත තත්ත්වය තේරුම් කරලා කටයුතු කළ යුතුයි. කවුරු ආවත් අපේ රට තිබුණු තත්ත්වයට ගන්න කාලයක් ගත වෙනවා.



225ම එපා කියලත් රැල්ලක් නැගෙනවා

225 ම එපා කියන සටන් පාඨය අරගෙන යන්නෙම ආණ්ඩුවේ හෙංචයයන්ගේ උවමනාවන් මත ක්‍රියා කරන පිරිස. 225 ම එපා කියන කතාව ඇතුළේ ගෝඨාභය රාජපක්ෂ හොඳයි කියන මතය නිර්මාණය කරනවා. ඒක කරන්නේ ආණ්ඩුවෙන් .

225 ඇතුළේ යමක් කළ හැකි සෑම පක්ෂයකම බුද්ධිමත් පිරිසක් ඉන්නවා. අපේ ආණ්ඩුව කාලෙත් වැරදි වැඩ කරපු මිනිස්සු වගේම හොඳ දේවල් කරපු මිනිස්සු හිටියා. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන මතය මම ප්‍රතික්ෂේප කරනවා.

ජාත්‍යන්තර සහයෝගය නැතිව අපිට කිසිසේත්ම ගොඩ එන්න බෑ. දැන් පවතින තත්ත්වයත් එක්ක ජාත්‍යන්තරය කිසිම අවස්ථාවක වර්තමාන රජයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ තරමටම ඔවුන්ට මේ රජය ගැන තිබුණු විශ්වාසය බිඳිලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක ජාත්‍යන්තරය පිළිගන්න ගරුකරන චරිත මේ 225 ඇතුළේ වගේම පිටතත් ඉන්නවා. ඒ පිරිසත් එකතු කරගෙන අලුත් ගමනක් ආරම්භ කිරීමට හැකියාව තියෙනවා.

රට වෙනුවෙන් වැඩ කළ යුතුයි කියලා කියනවා නම් ඔබතුමිය නියෝජනය කරන පක්ෂය සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවුණේ ඇයි?.

අපේ පක්ෂයේ නායකතුමා ඇතුළු පිරිස සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්න කියලා ඉල්ලුවේ මීට අවුරුදු දෙකකට කලින්. ඒ අවස්ථාවේ කිසිම කෙනෙක් ඒ ඉල්ලීම පිළිබඳ තැකීමක් කළේ නැහැ. අපේ රට විනාශ කරපු හොරුත් එක්ක නැවතත් ඉඳගෙන සර්ව පාක්ෂික සමුළුවකට සම්බන්ධවීමේ තේරුමක් නෑ කියලා අපේ පක්ෂයේ නායකතුමා ඇතුළු පිරිස තේරුම් අරගෙන ඉන්නේ. කියන දේ තේරුම් ගන්න බැරි උද්දච්ච අදහස් තියෙන පිරිසක් එක්ක කිසිම පක්ෂයකට ගමනක් නැහැ. සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මතය මොකක්ද කියන එක හැමෝම දැක්කා. ඒ නිසාම ඒ පක්ෂයේ ඉන්න පිරිසෙනුත් අද බාගෙට බාගයක් එළියට බැහැලා ස්වාධීනව කටයුතු කරනවා.

දැන් ඇතිවෙලා තියෙන අර්බුදයට විසඳුමක් හොයන්න පාර්ලිමේන්තුවට පිටින් ඉන්න හොඳ පිරිසක් එකතු කරලා ඒ අය ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තුවට කැඳවලා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළොත් ඔබේ පක්ෂය සහයෝගය ලබා දෙයිද?

අපේ පක්ෂයේ වගේම සෑම පක්ෂයකම එක් එක් ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධය තියෙන වැඩ කරන, සුදුසුකම් තියෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස ජාතික ලයිස්තුවෙන් අරගෙන රටට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්. නමුත් පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවට පත් වූ සියලු දෙනාම මේ අර්බුදය ගැන වචනයක්වත් කතා කිරීම නොකිරීම කනගාටුවට කාරණාවක්.

රාජපක්ෂලා හොරකම් කරපු මුදල් ගේන්න ඕනෙ කියලා ඔබ අවස්ථා කිහිපයකම කියනවා. දැන් ඒක යල් පැනගිය සටන් පාඨයක්. හොරකම් කරපු මුදල් ගෙන්වීමේ උවමනාවක් තිබුණා නම්, යහපාලන ආණ්ඩුව යටතේ කිසිම දෙයක් නොකර හිටියේ ඇයි?

යහපාලන ආණ්ඩුවේ හිටිය ජනාධිපතිත් අගමැතිත් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා තමයි යහපාලන ආණ්ඩුව කඩාගෙන වැටුණේ. දවල්ට අපිත් එක්ක රට ගැන කතා කරන ඔවුන් රෑට ගිහින් විරුද්ධ පක්ෂයේ අයත් එක්ක කෑම ගන්නවා. එහෙම සම්බන්ධතා තියාගෙන දේශපාලනය කරන්න බැහැ. ඒ වගේ දේවල් නිසා මහපොළොවේ පය ගහලා දේශපාලනය කරන අපි වගේ බිම් මට්ටමේ පිරිසගෙන් ජනතාව දිගින් දිගටම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ප්‍රධාන පුද්ගලයන්ගේ වැරදි නිසා අපි ගැන තියෙන විශ්වාසයත් ජනතාවට නැතිවෙලා යනවා. ඒ වගේ වක්‍ර සම්බන්ධතා මත තමයි යහපාලන රජයට බොහෝ දේවල් කරගන්න බැරි වුණේ. අපිට පාර්ලිමේන්තුවේ ඕනම කෙනෙක් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඒක අපේ පක්ෂයේ වගේම අනිත් පක්ෂයේ නායකයන් පවා කරනවා. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේ සම්බන්ධතා නිසා තමන්ගේ වගකීම් අමතක කළ යුතු නැහැ. කිසියම් පුද්ගලයෙකුගේ වැරැද්දක් තියෙනවානම් මිත්‍රකම් නොසලකා ඔවුන්ට දඬුවම් පැනවිය යුතුයි. එහෙම නොවුණොත් මොන ආණ්ඩුව ආවත් අඩු පාඩු පෙන්නගෙන මහජනතාව පාරට බහින එක නතර කරන්න බෑ. රාජපක්ෂලා හොරකම් කරපු මුදල් නැවත ගෙන්වනවා කියලා අපේ නායකතුමා පොරොන්දුවක් දීලා තියෙනවා. එතුමා දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරයි කියලා ජනතාව වගේම අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා .



මෑතකදී ඥානක්කා මෑණියන්ව මුණ ගැහෙන්න ගියේ සාස්තරයක් අහන්නද?

අනුරාධපුරේ ඥානක්කා ඕන විදිහට තමයි මේ රට පාලනය වෙන්නේ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. අගමැතිටවත් මැති ඇමැතිවරුන්ටවත් නැති බලයක් මේ ආණ්ඩුව යටතේ ඥානා අක්කට තියෙනවා කියලා ඇයට විශාල ආරක්ෂාවක් ලබා දීමෙන්ම ඔප්පු වෙනවා. මේ රටේ අර්බුද ගණනාවක් උද්ගත වෙලා තියෙන වෙලාවක ජනතාව කියන දේවල් අහන්න බැරිනම් ඥානක්කා කියන දේ හරි ජනාධිපති අහයි කියලා අපිට හිතුනා. ඒ නිසා තමයි ඒ නිවසට යන්න අපි කල්පනා කළේ. ඥානක්කාව දැනුවත් කරලා ඒ හරහා හරි රටේ පවතින තත්ත්වය ගැන ඉහළ අයට තේරුම් කරවන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා.

මොකක්ද අර කෑගල්ලෙදි ඇහුණු හූව...

කෑගල්ලේදී අපි මුහුණ දුන්න සිදුවීම ගැන විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙලා තිබුණා. ඇත්තටම එදා කෑගල්ලේදී සාමාන්‍ය ජනතාව විරෝධතා පළ කරමින් සිටි ස්ථානය ඉදිරියෙන් අපේ කාන්තාවන් ගමන් ගත්තා. විරෝධතාවල නිරත වුණු සාමාන්‍ය ජනතාව පවා අපට ආචාර කළා. සාමාන්‍ය ජනතාව අපිත් එක්ක එතැනදී කිසිම ගැටලුවක් ඇති කරගත්තේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී විරෝධතාවය දක්වමින් සිටි සාමාන්‍ය පිරිස අතරට පුද්ගලයන් දහ දෙනෙක් පමණ කඩා වැදිලා හූ කියමින් ගැටුමක් ඇති කරන්න උත්සාහ කළා. එදා අපි කනක හේරත්ගේ නිවෙස ඉදිරිපිටට යන්න සැලසුම් කරලා තිබුණේ. ඒ ගැටුම ඇති කරන්න උත්සාහ කරපු පිරිස කනක හේරත්ගේ හා සියඹලාපිටියගේ අනුගාමිකයන් කියලා අපිට පසුව දැනගන්න ලැබුණා. මම ළඟ ඒ පුද්ගලයන්ගේ නම් පවා තියෙනවා. කෑගල්ලේදී වගේම දැන් මේ වගේ දේවල් හැම තැනම සිද්ධ වෙනවා. අපි කොහේ හරි විරෝධතාවක නිරත වෙනවා නම් ඒ තැන්වලට හෙල්මට් දාගෙන පිරිසක් කඩා වදිනවා. ඔවුන් කෑකෝ ගසමින් සින්දු කියමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් අරගලය වෙන තැනකට ගෙනියන්න උත්සාහ කරනවා. ඇත්තටම කියනවනම් මේක ආණ්ඩුවේ ගේමක් කියලා මිනිස්සු තේරුම් ගත යුතුයි.

අරගලය අවභාවිත වෙලා වල්වැදෙන බවද ඒ හූවෙන් කියවුණේ


අරගල කිරීමේ කිසිම වරදක් නෑ. අරගලයෙන් තොර ජයග්‍රහණයකුත් නෑ. නමුත් ඒ කරන අරගලය සැබෑම අරගලයක් විය යුතුයි. අද බොහෝ අරගලයන්ට ආණ්ඩුවට ලැදි කණ්ඩායම් විසින් බලපෑම් කරනවා. සාමාන්‍ය මිනිස්සු එළියට බැහැලා ඉන්න වෙලාවක ප්‍රදේශයේ ජනතා නියෝජිතයාගේ සමීපම පුද්ගලයන් විරෝධතා අතරට ගිහින් බාධා කිරීම් කරනවා. එහෙමත් නැත්තම් විවිධ ක්‍රියාකාරකම් හරහා විරෝධතාවය වෙනත් පැත්තකට ගෙනියන්න උත්සාහ කරනවා. මිරිහානේදී වුණෙත් ඒ වගේ සිදුවීමක්. සාමාන්‍ය ජනතාව බොහොම සාමකාමීව විරෝධතා ප්‍රකාශ කරද්දී ආණ්ඩුවේම පිරිසක් ඇවිත් කෑගහලා බස් ගිනි තියලා ප්‍රශ්නයක් ඇති කළා. එතැනදි පොලිසිය ඔවුන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. ඒකෙන්ම ඔප්පු වෙනවා මේ කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් කියලා. අරගලයක් ඇතුළේ දිගින් දිගටම අපරාධ සිදු වුණොත් පොලිසිය සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගන්නවා.එතකොට අනිත් පිරිස කතා කරන්න, අරගල කරන්න බය වෙනවා. එහෙම තත්ත්වයක් යොදාගනිමින් හමුදාව මේකට සම්බන්ධ කර ගන්න පහසු වෙනවා. ආණ්ඩුව විසින් රටේ දේශපාලනය ආර්ථීකය දූෂණය කරනවාට අමතරව මේ අරගලයත් විනාශ කරලා දාන්න උත්සාහ ගන්නවා.

කොහොම වුණත් මේ අරගලය නිසා ආණ්ඩුවේ සැබෑ ස්වරූපය මොන වගේද කියන එක තව තවත් පැහැදිලිව ජනතාවට දැක ගන්න පුළුවන් වුණා. ඒ ගැන සතුටු වෙනවා.
225ම එපා කියන්නේ ආණ්ඩුවේ හෙංචයියෝ

සංවාදය - නිරෝෂා වාසල (අරුණ)