ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් වංචා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගෙන තිබේ. ඔහුට වසර 5 ක උපරිමයක සිර දඩුවමක් හා දඩ මුදල් මෙම වරද වෙනුවෙන් ලැබෙනු ඇති අතර අදාළ දඩුවම නියම කිරීම ජූලි 20 දින සිදුවේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඥාතී සහෝදරයෙකු වන ජාලිය වික්‍රමසූරිය
වොෂින්ටන් නුවර නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේදී වංචා කිරීමට උත්සාහ කර තිබූ අතර මෙම නඩුව පැවරීම ලංකාව්දී සිදු කර තිබියදී ඔහු ඉන් ගැලවී ගියත් ඇමරිකාවේදී ඉතිරි කොටස විභාගයට ගැනීම නිසා ඔහුට ගැලවීමක් නැති විය.කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී චෝදනා සඳහා වරද පිළිගත්තේය.
2008 වසරේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණ.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරිය 2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා ලද අතර පසුදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර දෙන මෙන් පසුව කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.
එහෙත්, 2017නොවැම්බර් මස 17 වෙනිදා ඔහු නැවත අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණ ද, ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි දන්වා මහේස්ත්‍රාත්වරිය 2018 ජනවාරි 05 වැනිදා විවෘත වරෙන්තු නිකුත් කළාය.
වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි පදිංචි 61 හැවිරිදි ජාලිය චිත්රාන් වික්‍රමසූරිය, 2008 සිට 2014 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරනු ලැබීය.
0 Comments