katunayake-arrest

අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වී ප්‍රංශයට පැන යැමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු පෙරේදා (06දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

26 හැවිරිදි ඉරාක ජාතික. උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. මොහු පෙන්වා (06දා) රාත්‍රී 07.30 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබුණි. අනතුරුව සිය වීසා බලපත්‍රය සදහා අනුමැතිය ලබා ගැනීමට ආගමන කවුළුවට පැමිණ, තමා සතු ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍රය ,


එහි රාජකාරි සිදු කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්වරයාට ඉදිරිපත් කර තිබේ . එම ගුවන් ගමන් බලපත්‍රය පරික්ෂා කළ එම නිලධාරියා, ඒ පිළිබද සැක මතු වීමෙන් පසුව, වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තූවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින්ට භාර දී ඇත.එහිදී එම නිලධාරින් විසින් සිදු කළ තාක්ෂණික පරික්ෂණවලදී, මෙම ගුවන් ගමන් බලපත්‍රය, මම තරුණයාට අයත් එකක් නොවන බවට තහවුරු වී තිබේ.ඒ සම්බන්ධයෙන් මෙම තරුණයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර, ඔහු රැගෙනවිත් තිබූ ගමන් මලු ද පරික්ෂාවට ලක් කිරීමට එම නිලධාරීන් පියවර ගෙන තිබිණි. එහිදී එම ගමන් මල්ලක ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ මෙම ඉරාක ජාතික තරුණයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සොයා ගැනීමට මෙම නිලධාරීන්ට හැකි වී තිබුණි.එසේ සොයා ගත් ගුවන් ගමන් බලපත්‍රය ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය බව එම තරුණයා විසින් පිළිගෙන ඇති, තමා ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශයට පැන යාම තම අපේක්ෂාව වූ බවද අනාවරණය කර තිබුණි.

ඔහුගේ රුවට සමාන රුවක් සහිත මෙම ව්‍යාජ අන්සතු ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රය, තැරැවුකරුවෙකු මගින් තුර්කියේදී ලබා ගත් බවත්, එහෙත් තමන් තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට, තම ඉරාක ගුවන් ගමන් බලපත්‍රය යොදා ගත් බවත් ප්‍රකාශ කර තිබිණි. අනතුරුව මෙම ගුවන් ගමන් බලපත්‍රය පිළිබද විමර්ශන කටයුතු අවසන් කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, මෙතෙක් තම අත්අඩංගුවේ සිටි මෙම තරුණයා, ඔහු පැමිණි තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන්තොටුපළට ආපසු පිටුවහල් කිරීමට, තුර්කි ගුවන් සේවයේ නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබුණි.


(කටුනායක - ටී.කේ.ජී.කපිල)