kebithigollawa-son-story

හැත්තෑ දෙහැවිරිදි මව රවටා බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 47 ක මුදලක් වංචාවෙන් ලබාගත් යැයි කියන පොලිස් සැරයන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මව ඊට එරෙහි වී පුතා බේරා ගැනීමේ සිද්ධියක් කැම්බිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම පොලිස් සැරයන් පොලිස් මූලස්ථානයේ කොට්ඨාසයක රාජකාරි කරන අතර ගලෙන්බිඳුනුවැව් පොලිස් වසමේ පදිංචිකරුවෙකි. පොලිසිය පවසන ආකාරයට එම සිද්ධිය  මෙසේය. මෙම කාන්තාව සතු ඉඩමක් යාන් ඔය ජල ව්‍යාපෘතිය සඳහා පවරා ගැනීම වෙනුවෙන් වන්දි වශයෙන් රජයෙන් රුපියල් ලක්‍ෂ 47 ක මුදලක් ලැබී ඇත.


මේ බව දැනගත් ඇයගේ පොලිස් සැරයන් පුතා මව  මුණ ගැසීමට පැමිණ වැඩි  පොලි අනුපාතයක් ලැබෙන දෙදෙනාම එක්ව බැංකුවේ බද්ධ ගිණුමක් ආරම්භ කරමු යැයි මවට යෝජනා කර තිබේ.

මවගේ ද කැමැත්ත ඇතිව පොලිස් සැරයන් පුතා ඔහුගේ ද නම යොදා රාජ්‍ය බැංකුවක බද්ධය ගිණුමක් ආරම්භකර ඇත.  පසු අවස්ථාවක මවට  බැංකුවට ගිය විට එම බද්ධ ගිණුමේ තිබූ ලක්ෂ 47 මුදලින් මේ වන විට ඇත්තේ රුපියල් 9,000 ක මුදලක් පමණක් බව දැනගෙන ඒ ගැන කරන ලද සොයා බැලීම් වලදී තම පුතා වරින් වර මෙම ගිණුමෙන් මුදල් ලබාගෙන ඇතිබව හෙළි කර ගෙන තිබේ. මේ බව හෙළිවීමෙන් පසුව ඇය තම පොලිස්  පුතාට එරෙහිව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව පරික්ෂණ පැවැත් වූ පොලිසිය පොලිස් සැරයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කිරීමට සුදානම් වී තිබේ.

ඒ අවස්ථාවේදී  පොලිසියට ඉදිරිපත් වූ මව පුතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ රැකියාව  අහිමිවන බවත්, එවිට ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා අසරණවන බවත් හඩා වැලපෙමින් පොලිස් නිලධාරින්ට පවසා ඇත. තම පුතා හිරේ විලංගුවේ වැටීමට ඉඩදිය නොහැකි බව ද මව හඬා වැටෙමින්  පොලිස් නිලධාරින්ට පවසා තිබේ. මවගෙන් ලබාගත් මුදලින් ලක්‍ෂ 20ක් දිය හැකි බව  පොලිස් පුතා මෙහි දී පැවසූ අතර ඔහුගේ මව ඊට එකගත්වය පළකර සිටියේ යැයි ද පොලිසිය පැවසීය.  පොරොන්දුව කඩ කළහොත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ද එහි දී පොලිසිය පවසා ඇත.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය -