රඹුක්කනදී වෙඩි වැදී මියගිය තම පියා වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බව සිද්ධියේදී මියගිය 42 හැවිරිදි චමින්ද ලක්ෂාන් මහතාගේ දියණිය ඊයේ (20 දා) මාධ්‍ය හමුවේ පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දියණිය මෙසේද කියා සිටියාය.
“තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යනවා කියලා. හවස බයික් එක ගන්න යද්දි තමයි වෙඩි තියලා තියෙන්නේ. තාත්තා තනියම ඉදිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ.
මේ සිද්ධිය එක මාමා කෙනෙක් දැකලත් තියෙනවා. අපිට මේකට සාධාරණයක් ඕනේ. මට සල්ලි මිල මුදල් එපා. මට මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ.
මම හැම තිස්සේම තාත්තට කෝල් කරනවා. එතකොට කියනවා එයා කොහෙද ඉන්නෙ කියලා. පස්සේ මම කෝල් ගත්තා. ඒත් ඉස්සුවේ නැහැ. පස්සෙ තමයි කෑගල්ලේ ඉන්නවා කියලා දැන ගෙන මම ගියේ. එතකොටත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මේ කිසිදේකට තාත්තා සම්බන්ධ නැහැ. නිකන් නිස්කාරනේ මගේ තාත්තාව නැති කළේ.
ඝාතන සිද්ධිය ඇසින් දුටු අයෙක් කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවේ මෙසේ පැවසීය.
‘දෙපැත්තෙන්ම ගල් පහරවල් එල්ල වුණා.
මම ළඟ සිටි ‘සුද්දා’ට කිව්වා දුවලා යන්න කියලා. ඔහු ෂෙඩ් එක ගාවදි වෙඩි පහරවලට ඉලක්ක වුණා’
රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී ජීවිතක්ෂයට පත්වූ චමින්ද ලක්ෂාන් හෙවත් ‘සුද්දා’ නමැත්තාගේ මරණය පිළිබඳව සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (20 දා) පැවැති අවස්ථාවේ මියගිය ලක්ෂාන් සිටි ස්ථානයට නුදුරින් සිටි අයෙකු ඇසින් දුටු සාක්ෂි දෙමින් එසේ කියා සිටියේය.
0 Comments