mirihana-protest-dies

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට අද (3) දහවල් නැගී පුද්ගලයෙකු ඇද වැටී මියගොස් ඇතැයි මිරිහාන මුලස්ථාන පොලිසිය සඳහන් කරයි .




 අධිබලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් සහිත කණුවට නැගි පුද්ගලයා පසුව ඉන් ඇද වැටී ඇති බවත් බරපතල තුවාල නිසා මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය. ඔහු මියගොස් ඇත්තේ විදුලි සැර වැදීම සමග විසිවී වැටුණ තුවාල වලිනි.
මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකු වන අතර ඔහු සිදුවීම සිදුවන අවස්ථාවේ අධික ලෙස බීමත්ව පාරේ ඇවිදයන අයුරු පසුව නිරීක්ෂණය කළ සීසීටීවී ඇසුරින් හඳුනාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, විදුලිය විසන්ධි නොකරන ලෙස ඉල්ලා මෙම පුද්ගලයා ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැග ඇති බවය. තවත් කතාවකින් කියැවුනේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට විරෝධය පාමින්  ඔහු කෑගැසූ බවයි. සිද්ධිය දුටු අයෙකු පැවසුවේ ‘ගෝඨාභය අපට එපා‘ යයි මහ හඩින් කෑගැසීම සමග පසුපසට ඇදවැටී පසුව තුවාල ලබා මියගිය බවයි.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාර පලවන පටුමග පදිංචිව සිටි නානයක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති පනස් තුන් හැවිරිදි දෙදරු පිය‍ෙකු බව පොලිසිය හෙළි කළේය.
මහරගම,නුගේගොඩ මාර්ගයේ එදිරිසිංහ මාවතට හැරන ස්ථානයේ තිබෙන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධිබල විදුලි කණුවකට නැග සුළු මොහොතක දී මෙම අනතුර සිදුවිය.
එම අනතුර ඔහුගේ පුතෙකු සියසින් දැක ඇති බව ද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත
මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත