
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් නොවුණහොත් පසුපෙළ මන්ත්‍රීවරුන් දසදෙනාගේ කණ්ඩායම ලෙස දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඊයේ (28) පැවසීය. මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම දී පැවැති මාධ්‍ය හමුවකදීය. මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරැදි තීන්දු ගන්න කෙනෙක්.අපි අග්‍රාමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එතුමා ඕන වෙලාවක රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානමින් ඉන්න බව කියන පණිවිඩය අපට දුන්නා. හැබැයි අග්‍රාමාත්‍යතුමාට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නේ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා. ඒ අය එහෙම කරනවා නම් කරන්නේ වෙන මොකුත් නිසා නොවෙයි. තමන්ගේ හොරමැරකම් ආරක්ෂා කරගන්න. තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න දෙන්නේ නැත්තේ කියන හැගීම තමයි අපිට තියෙනේ.
මේ වෙලාව තමන් ආරක්ෂා වෙන වෙලාවක් නෙමෙයි, රට ආරක්ෂා කරගන්න වෙලාවක්. ඒ නිසා මම ඉතා ගෞරවයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාත් , අග්‍රාමාත්‍යතුමාත් මේ තීන්දු තීරණ අරගෙන සියලුම පක්ෂ එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලා. එහෙම ඉඩදෙන්නේ නැතිනම් අපි දස දෙනාට අනිවාරේන්ම දැඩි තීන්දුවකට මේ වෙනුවෙන් යන්න වෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval