nittambuwa-incident

හැට හතර හැවිරිදි වියපත් මවට පහර දී තුවාල සිදු කොට ඇති බව කියන සැකකාර පුතා ඇතුළු තිදෙනෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් ශෂිකා ලක්මාලි දසනායක මහත්මිය ඉකුත්ද (05) පස්වරුවේ එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් තිදෙනාට කොන්දේසි සහිත රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප නියම කළාය.  නිට්ටඹුව ප්‍රදේශයේ පුතා නිශාන්ත නානායක්කා, ලේල්ලිය ග්‍රාම නිලධාරි ඩබ්ලිව්.ඩී. චන්ද්‍රාවතී හා කාංචනා හේමාලි ගුණවර්ධන යන තිදෙනෙකුට එසේ ඇප නියම කෙරිණි.  ශරීර ඇප වෙනුවෙන් එක් අයෙකුට දෙදෙනා බැගින් තිදෙනාට හය දෙනකු අත්සන් කළ යුතු බවටද නියෝග කැරිණි.

සිය නිවෙසේ දී වයෝවෘද්ධ මවට පහර දී තුවාල සිදුකොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරික්ෂණ  පවත්වා සැකකාර පුතා, ලේලිය හා අනෙක් සැකකාරිය අත්අඩංගුවට ගත් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච්.ආර්.ඇස්. කුමාර මහතා කරුණු දක්වමින් නිවෙසේදී හැට හතර හැවිරිදි වියපත් මවට පහර දී තුවාල සිදු කොට තිබියදී ඇය 1990 ගිලන් රථයකින් රෝහල් ගත කළ බවද කියා සිටියේය. නීතිඥ රුක්මන් සිල්වා මහතා කරුණු දක්වමින් පහරදීමක් සිදු කොට ඇති බවත් කතා බහක් අවසානයේ බිම වැටී ඇති බවත් පුතා ආරක්ෂක අංශයක සේවයේ යෙදී සිටින අයකු බවත් ලේලිය ග්‍රාම නිලධාරිණියක බවත් අනෙක් සැකකාරිය පුතාගේ නැන්දණිය බවත්

කිසිසේත්ම පහර දීමක් නොකළ බවත් මේ තත්වය සලකා බලා ඕනෑම කොන්දේසියක් යටතේ මොවුන් තිදෙනා ඇප මත මුදාහරින මෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරුට හා සැකකාරියන් දෙදෙනාට කොන්දේසි සහිත ඇප නියම කැරිණි.  නැවත කැඳවීම මෙම මස 18 වැනිදාට කල් තැබිණි.  විත්තිය වෙනුවෙන් නීතිඥ රුක්මන් සිල්වා මහතා පෙනී සිටියේය. නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච්.ආර්.ඇස්. කුමාර මහතා පැමිණිල්ල මෙහෙය වීය.
 ආනන්ද ඉ. ජයකොඩි