nk-sirisena-death
දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයකු වූ එම්.කේ. සිරිසේන  (78) මහතා ඊයේ (31) දහවල් නිවස තුළ තියුණු ආයුධයකින් ඇන ගෙල කපා ඝාතනය කර ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. මන්ත්‍රිවරයා තංගල්ල මිහිඳු මාවතේ මෙම නිවසේ වසර කිහිපයක්ම තනිවම  වාසය කර ඇති අතර ඊයේ දහවල් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. 

කිසියම් පුද්ගලයකු ඊයේ දහවල් මෙම නිවසට පැමිණ මන්ත්‍රිවරයා සමග  ආරවුලක් ඇති කරගෙන ඇති අතර ආරවුල් හඬ ඇසී අවට පිරිස් නිවසට ගොස් බැලීමේදී මන්ත්‍රිවරයා නිවස තුළ ඝාතනය කර තිබෙනු දැක සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත.



මෙම ඝාතනය සිදුකළ බව කියන පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත. ඝාතනය සිදුකර පලාගිය සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය අවට සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරමින්, සිටියි. මන්ත්‍රිවරයාගේ නිවසට යාබදව ඔහුගේ ඥාති පුතකු බිරිඳ හා දරුවන් සමග ජීවත් වී ඇති අතර ඊයේ දහවල් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය පැමිණ මළ සිරුර සොයාගෙන  මෘත ශරීරය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත. තංගල්ල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරි එස්. රත්නවීර -යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, තංගල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතාගේ මෙහෙයවීමෙන්, පරීක්ෂණ පැවැත්වේ.

 ඉන්දිකා රාමනායක