omalpe-sobitha-speaks

වර්තමානයේ පවතින අදූරදර්ශී, අමනෝඥ, අඥාන පාලනයේ වෙනසක් සිදුවිය යුතු බවත්, මේ පාලකයන් බලයට පත්කිරීමට ජනතාවට උපදෙස් දුන් භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන ජනතාව විඳින පීඩාවෙන් මුදවා ගැනීමට පාලකයන්ටම උපදෙස් දිය යුතු බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පවසා සිටියේ "74 වසරක සාපය නිමා කරමු - ජනතාවාදී පාලනයක් ගොඩනගමු" යන මැයෙන් ඇඹිලිපිටිය ඔරලෝසු කණුව අසලදී භික්ෂූන් වහන්සේල්ලාගේ සත්‍යග්‍රහයක් අරඹමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ, "අර්බුදයට හේතුවත් පැහැදිලියි. ජනතාව පත්ව ඇති පීඩාව හමුවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මහා සංඝරත්නයේ යුතුකමක් හා වගකීමක්. අද ඇඹිලිපිටියේ මහා සංඝරත්නය මේ කරන්නේ ඒ යුතුකම සහ වගකීමයි.

මේ අර්බුදයට විසඳුමක් ජේතෙක් මානයක නෑ. රටේ විධායකයට, අධිකරණයට සහ ව්‍යවස්ථාදායකයට උපදෙස් දෙන්නයි භික්‍ෂන් වහන්සේලා මේ ආකාරයට රැස්වෙන්නේ. භික්ෂූන් වහන්සේලා ඔවුන්ටත් රජයටත් කළ යුත්තේ කුමක්ද යන්න අනුශාසනා කිරීමට සුදානමින් රට පුරා තැනින් තැන මේ ආකාරයට රැත්වෙලා ඉන්නවා.මේ අවස්ථාවේ මහානායක හිමිවරුන්ට දෝෂාරෝපණය කරන සාවද්‍ය ක්‍රියාවනුත් ජනතාව අතර සිද්ධ වෙනවා. එහෙම කරන්න එපා. උන්වහන්සේග්ලා මේ අර්බුදයට වගකිව යුතු නෑ. අපි උන්වහන්සේලාගෙන් අනුශාසනා ගන්න කටයුතු කරමු. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ මේ රජය බලයට පත්කරන්න හැටනම ලක්‍ෂයක් ජනතාව කටයුතු කළේ මේ රටේ භික්‍ෂු බලවේගය නිසා කියන එක අවිවාදාත්මක සත්‍යයක්.ජනතාව භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම ඉටු කළා. දැන් එහෙම නම් ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකරන රජයක් හමුවේ ජනතාවගේ පැත්ත නොගෙන ඉන්න භික්‍ෂුන් වහන්සේග්ලාට හැකියාවක් නෑ. දැන් වැඩේ වැරදුණා කියලා භික්ෂුන් වහන්සේලාට පැත්තකට වෙලා ඉන්න පුළුවන්කමක් නෑ. ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන් ඉදිරිට ඒ ස්වාමීන් වහන්සේලාම පැමිණ අදාළ අනුශාසනා කළ යුතුයි. ජනපති, අගමැති, කැබිනට් ඇමතිවරුන්ට මේ අවස්ථාවේ ජනතා බලාපොරොත්තු ඉටු කළ යුතු බවට අනුශාසනා කළ යුතුයි.

ජනාධිපතිතුමාට උපදෙස් දෙන බෞද්ධ උපදේශක සභාවක් පත් කළා නේද? කෝ දැන් ඒ උපදේශක සභාව. වහාම ඒ උපදේශක සභාව සුදුසු තැනක රැස් කරන්න. ඒකාත්මකව ඒ සභාවෙන් උපදෙස් ගන්න. තෙල් නෑ, ගැස් නෑ, විදුලිය නෑ. ආහාර ප්‍රමාණවත්ව නෑ. තියන ඒවායේ මිල වැඩියි. මේ තත්වය ඉවසා දරාගන්න බැරුව තමයි ජනතාව පාරට බැහැලා තියෙන්නේ. ජීවත් වෙන යුතුකම් ඉටුකරන්න කියන ඉල්ලීම රජයෙන් කරමින් මිනිස්සු පාරට බැහැලා තියනවා.දැන් මේ රජය පිහිටුවන අනුශාසනා කළ භික්‍ෂුන් වහන්සේලා පෙරට පැමිණ බලධාන්ට අනුශාසනා කළ යුතුයි. දැන් තමයි උපදේශක සභාව අවශ්‍යය. දැන් තමයි ඒ අයට වගකීම තියෙන්නේ.ඉන්ධන, ගැස්, ගල් අඟුරු ප්‍රශ්නය විසඳගන රුසියාවෙන් ඒවා ලබාගත හැකියි. රුසියාව අපට හිතවත් රටක්. නීති සම්පාදනය, මුදල් වියදම් කිරීම, ව්‍යවස්ථාදායකයට අයිති දෙයක්. එහෙනම් පක්‍ෂවලට නොබෙදී අපි මේ ගැටලුකාරී මොහොතේ රුසියාවෙන් අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට නීති සකස්කර ගත හැකියි. ඇයි එහෙම නොකරන්නේ.ඇමෙරිකාවෙ හිත නරක් වෙයි කියලා ඉල්ලන්නේ නැත්තේ. පාලන බලයේ ඉන්නේ ඇමෙරිකන් පුරවැසියෝ. ජනාධිපති ඇමෙරිකන් පුරවැසියෙක්. සියලු බලතල ඇතිව හිටපු මුදල් ඇමති ඇමෙරීන් පුරවැසියෙක්. අනික් හැම දෙනාමන්ම වගේ ඇමෙරිකානු ගැත්තෝ වහල්ලු. අපි ඉන්දියාවෙන් තෙල් ගන්නවා.

ඒ තෙල් ඉන්දියාව ගන්නේ රුසියාවෙන්. ඇයි අපිට කෙළින්ම රුසියාවෙන් තෙල් ගන්න බැරි. අපි කොච්චර නම් නිහින නින්දිත ක්‍රියාවලියකට ගොදුරු වෙලා ඉන්නේ.ඉන්දියාව තෙල් තැරැවිකාරයෙක්. තෙල් මිල වැඩිවෙලා තියෙන්නේ ඒකයි. ඇයි අපි කෙළින්ම රුසියාවත් එක්ක ගනුදෙනු කරනවා කියලා යෝජනා සම්මත කරගන්න  පාර්ලිමේන්තුවට නොහැකි.බංග්ලාදේශය වැනි හිඟන රටවලින් ණය ගන්න පුළුවන් නම් ඇයි අපි අපේ නැති බැරිකම කියලා රුසියාවෙන් තෙල්, ගස්, ගල් අඟුරු නොගන්නේ, ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තෝ ඇමෙරිකන් වහල්භාවයෙන් මිදිලා ජනතාව පත්ව ඇති පීඩනයෙන් මුදවා ගැනීමට කටයුතු කළ යුතුයි. රට මුදවා ගත හැකි විසඳුමකට යා හැකිව තිබියදී ඒ විසඳුමට නොයන්නේ ඇයිද කියලා අපි මහජන නියෝජිතයන්ගෙන් අහනවා” යනුවෙන් පැවසුහ.


(අජිත්ලාල් ශාන්තඋදය)