rambukkana-incident-updates

රඹුක්කන ප්‍රදේශයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පැවති උණුසුම් තත්ත්වයේදී මියගිය පුද්ගලයා පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබූ බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂවරිය තහවුරු කර තිබේ.


රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා වෙඩි ප්‍රහාරයක් එල්ල කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාද පැවසීය.


 තල්දූව මහතාවැඩිදුරටත් ප්‍රකාශ කළේ පොලිසිය තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර ‌එල්ල කළ අවස්ථාවේ විරෝධතාකරුවන් ගල් මුල්වලින් පොලිසියට පහර දීමට ආරම්භ කිරීම හේතුවෙන් ඔවුන්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි.
කෑගල්ල රෝහල සඳහන් කලේ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ 24 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 03 දෙනෙකුගේ තත්වය බරපතල බවය.
දුම්රිය මාර්ගය අවහිර කරමින් සිටි පිරිස විසුරුවීමට පොලිසිය කඳුළු ගෑස් හා වෙඩි එල්ල කිරීම නිසා පුද්ගලයෙකුගේ ජීවිතය නැති විය.
 තුවාල ලැබූ පොලිස් නිලධාරින් 8 ක්ද කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබෙන බව තල්දූව මහතා කියයි.

මතුව ඇති උණුසුම්කාරී තත්ත්වයත් සමග රඹුක්කනට විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇත.

මීට අමතරව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටද පියවර ගෙන තිබේ.