ranil-speaks
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පස්වරක් අගමැති ධුරය දැරූ පරිණත දේශපාලනඥයකි. සෙසු දේශපාලනඥයන් මෙන් නොව ඔහුට බොහෝ ජාත්‍යන්තර සබඳතා ඇති බව හිටපු අගමැතිවරයාගේ මිතුරන් පමණක් නොව පස මිතුරන්ද පිළිගන්නා කාරණාවකි. රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය විසඳුමට ඔහුට අගමැතිකම දෙන කතාවක්ද ඉකුත් දිනවල ප්‍රචාරය විය. මේ ඒ ගැන රනිල් වික්‍රමසිංහ පුවත්පතකට ලබා දුන් සාකච්ඡාවකි.


මේ ආණ්ඩුවට වැරදුණේ කොතනද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යහපාලන කාලයේ ආරම්භ කළ වැඩසටහන මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම සංශෝධනයට ලක් කළා. ජනාධිපතිවරණය දිනලා මාසයක් යාමට පෙර තමයි මේ සංශෝධන කළේ. දැන් රටේ දරුණු ප්‍රශ්න දෙකක් තියෙනව. ආණ්ඩුවට ආදායම අහිමි වීම ඉන් ප්‍රධානයි. දෙවන කාරණය ණය ගෙවීමට නොහැකි වීම. ණය ගෙවීමට හැකිවන අයුරින් ආදායම වැඩි කිරීමට අපේ ආණ්ඩුව පියවර ගෙන තිබුණා. ආණ්ඩුව පිහිටුවන විට වියදම්වලට හැර වෙනත් ආදායමක් අපටත් තිබුණේ නැහැ. අපි බදු වැඩි කරමින් ආදායම් ලබන තත්ත්වයක් ඇති කළා. ඒ නිසා ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු බදු අඩු කළා. එහෙම කරන්න කියලා ජනතාව ඉල්ලුවේ නැහැ. නමුත් සමහර ව්‍යාපාරිකයන් ආදායම් බදු ඉවත් කරන්න කීවා. මේ නිසා සමහරුන්ට සහන රැසක් ලැබුණා.

මේ ආණ්ඩුවේ මෙම තීරණය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනෙන් ඉවත්වුණා. අරමුදලෙන් එක් වතාවක් ආධාර ගන්න තිබුණත් ලැබුණේ නැහැ. එහි විපාක එනකොට විදේශ විනිමය පාලනය කරන්න පටන් ගත්තා. ආණ්ඩුවට තිබුණේ අරමුදලට ගිහින් මුදල් ගන්න. මහ මැතිවරණය එන කොට අපි යෝජනා කළා ඉදිරි වසර දෙක තුළ විදේශ ණය ගෙවීමට ඩොලර් බිලියන හතක් අවශ්‍යයි කියලා. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ අවශ්‍යතාවක් නැහැ කියලා. අනෙක් රටවල් ගියත් අපි ගියේ නැහැ. මේ නිසා තමයි මෙම ප්‍රශ්නය උග්‍ර වුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය නැතිව ගෙවන්න බැරි වුණාම විශ්වාසය නැති වුණා.



බදු සහන ඉල්ලුවේ කවුද?

ආණ්ඩුවේ ව්‍යාපාරික හිතවතුන් තමයි යෝජනාව කළේ. හිතවතුන් නොවන අය නිසා බදු සහන ලැබෙන්නෙ නැහැනේ. සමහරුන්ට සහන ලැබුණා.

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නෙ කොහොමද?

ඇත්තේ එකම විසඳුමයි. මම 2020 ඉඳල කියන්නෙ අයි.එම්.එෆ්. යා යුතුයි කියලා. ශ්‍රී ලංකා රජයට වෙන කොහේවත් ආධාර ගන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වුණොත් මෙම අර්බුදය ජය ගන්න පුළුවන්. සාකච්ඡා කර එකඟ වීමෙන් පසු අයි.එම්.එෆ්. සහතිකය ලැබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමෙන්ම මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවාද?


අයි.එම්.එෆ්. එකට පමණක් නෙවෙයි, ඊට වඩා වැඩි දෙයක් කරන්න තියෙනවා. ලන්ඩන් ක්ලබ් එකටද යා යුතුයි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවන එක කල් දාන්න අපිට වෙනවා. කල් දාන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. වසර තුන හතරක් කල්දාන්න වෙනවා. ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. එය සාකච්ඡා කරන්නත් අයි.එම්.එෆ්. සහතිකය තිබිය යුතුයි. සාකච්ඡා ආරම්භ කළ යුතුයි. ජුනි මාසයේ ඩොලර් බිලියන දාහක් විදේශ ණය ගෙවන්න තියෙනවා. චීනය හැර පැරිස් නුවරදී රැස් වන පැරිස් ක්ලබ් එකක් සමගත් සාකච්ඡා කළ යුතුයි. චීනය සමගත් සාකච්ඡා කළ යුතුයි. මෙතෙක් කල් අපි ලන්ඩන් ක්ලබ් එකට ගියේ නැහැ. නමුත් මෙවර යන්න වෙලා තියෙනවා.

ගත් ණය නොගෙවා ඉන්න බැරිද?

ණය නොගෙව්වොත් බංකොලොත් වෙලා කියයි. ​නොගෙවා ඉන්න බැහැ. කල් ඉල්ලන්න පුළුවන්. බැංකුව වගේ. ආර්ථිකයත් කඩා වැටෙනවා.

ඇත්තෙන්ම ලංකාව බංකොලොත් රාජ්‍යයක්ද?

අපි බංකොලොත් තත්ත්වයට ඇවිත් තියෙනවා. අපිට අවශ්‍ය විදේශ විනිමය නැහැ. වියදම් ගෙවන්නත් බැරි වෙලා තියෙනවා.

රටට ඩොලර් නැතිනම් ඩොලර් ගෙන්වා ගන්න ඔබගේ යෝජනා මොනවාද?


අයි.එම්.එෆ්. යාම එක යෝජනාවක්. ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපා සංගමය සමග සාකච්ඡා කර සහයෝගය ගත යුතුයි. 2001 එවැනි සහයෝගයක් ලැබුණා. අනවශ්‍ය සියලු වියදම් අයවැයෙන් ඉවත් කළ යුතුයි. එම වියදම් ජනතාවට සහන දෙන්න යෙදවිය යුතුයි. සහන අයවැයකට යන්න. නමුත් මුදල් අමාත්‍යංශයයි, ශ්‍රී ලංකා මහ බැංකුවයි අද අසාර්ථක වෙලා තියෙන්නෙ.

සර්ව පාක්ෂික සමුළුවේදීත් ඔය ආයතන දෙකේ අසාර්ථකභාවය ගැන චෝදනා එල්ල වුණා. ඉතින් ඔබ කළ යෝජනා මුදල් අමාත්‍යාංශය අහයිද?

එය ජනාධිපතිවරයාගේ වගකීමක්. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේත් වගකීමක්. අපේ නොවෙයි. අපට යෝජනා කරන්න පුළුවන්.



නමුත් ආණ්ඩුව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමෙන් අවාසියක් වෙන බවයි.?

එහෙනම් ආණ්ඩුව ඒ අවාසි මොනවද කියල පෙන්වා දිය යුතුයි. ආණ්ඩුව තවම එවැනි ප්‍රකාශයක් නිල වශයෙන් කර නැහැ.​ නොගිය නිසයි මෙම ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නෙ. ගියා නම් මේ ප්‍රශ්නය ඇති වෙන්නෙ නැහැ. කල්ගත වෙනවා කිව්වත් එච්චර කාලයක් ගත වෙන්නෙ නැහැ. මාස නවයක් යන්නෙ නැහැ. හරියට කළොත් මාස තුනකින් කරන්න පුළුවන්.

මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වග කියන්නෙ නැහැ කියලා විපක්ෂයෙන් චෝදනාවක් තියෙනවා. අයි.එම්.එෆ්. විවාදයත් මග හරීද?

මග හරින්න බැහැ. මුදල් අමාත්‍යවරයාට එන්නට සිදු වෙනවා. පාර්ලිමේන්තුවට ආවේ නැති වුණොත් විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩුව පැත්තෙනුත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. පළමුව මෙම ප්‍රශ්නය විසඳා ගත යුතුයි. මමත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රිතුමත් දවස් දෙකක් ඉල්ලුවා. නමුත් සමගි ජනබලවේගය එක දවසයි ඉල්ලුවේ.

මුදල් අමාත්‍යවරයා ඔබට විශ්වාසයක් තියෙනවාද?

අපට විශ්වාසයක් තිබුණේ නැහැ. අයි.එම්.එෆ්. යෑම පිළිබඳවත් විශ්වාසයක් නැහැ. තවමත් අපි ඉන්නේ එම ස්ථාවරයේ.

ඔබ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡාවේදී රටේ වත්මන් තත්ත්වය ගැන කතා කළාද?

බිම්ස්ටෙක් සමුළුවට ආපු ඉන්දීය විදේශ අමාත්‍යවරයා මම මුණ ගැසුණා. අපට පුළුවන් විදිහට ලංකාවට උදව් කරනවා කියා විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එහෙත් ඉන්දියාවටත් සීමාවක් ඇති බව ප්‍රකාශ කළා. ආර්ථිකය හදා ගන්න නම් අයි.එම්.එෆ්. යන්න අවශ්‍ය බව ඔහුත් මා සමග ප්‍රකාශ කළා. සෑම තානාපති කාර්යාලයකම අදහස එයයි. කිසි රටකට ඉන්දියාව මෙහෙම උදව් කරලා නැහැ. ලංකාව අසල්වැසි රටක් නිසා උදව් කරනවා කියලා ඉන්දියාව කියනවා. ලංකාවේ ආහාර හිඟය නිසා මිනිස්සු තමිල්නාඩුවට ඒම ඔවුන්ට ප්‍රශ්නයක් කියා ප්‍රකාශ කළා. ලංකාවේ ස්ථාවරභාවය ඉන්දියාවටද හොඳ බව ඔහු කියා සිටියා.

වර්තමානයේ ර​ටේ පවතින ප්‍රශ්න හේතුවෙන් මහජන පිපිරීමක් සිදුවෙයිද?

පුපුරායාමක් වෙන්න පුළුවන්. මිනිසුන් පාරට බහිනවා. පක්ෂ ආණ්ඩු විරෝධී රැස්වීම් තියෙනවා. ලබන තුන්වැනිදා (03) තියෙන මහජන නැගිටීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නැහැ. අපි සත්‍යග්‍රහ ව්‍යාපාර තියනවා. ලබන හයවැනිදා මාතරත් ඉන් පසු පඬුවස්නුවරත් තියනවා.

ජනතා විරෝධතාවල අවසානය කොතනද?

ජනතා ප්‍රශ්නවලට විසඳුමක් දුන්නේ නැත්නම් රට පිපිරෙන්න පුළුවන්.

ජාතික එකඟතාවක් පිළිබඳ ඔබ කතා කරන්නෙ ඇයි?


රට තුළ ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතුයි. එහෙම ප්‍රතිපත්තියක් අපිට නැහැ. පවතින ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙළ අලුතෙන් පත්වන ආණ්ඩුව නතර කරනවා. වෙනස් කරනවා. අපි ඉන්නෙ විවෘත ආර්ථිකයේ. 1977 ආරම්භ කළේ. නමුත් මම යෝජනා කරන්නෙ වර්තමානයේ විවෘත ආර්ථිකයෙන් ඈත්විය යුතු බවයි. පවතින ගැටලු නිසා විවෘත ආර්ථිකයේ ඉල්ලීමට සැපයීම දෙන්න බැහැ. විකෘති වෙලා තියෙන්නෙ ජාතික එකඟතාව පළමුව ආරම්භ කළ යුත්තෙ ආර්ථිකයටයි. ඊට පස්සෙ අනෙක් අංශ ගැන බලමු. ප්‍රතිපත්ති රාමුවක් හදලා සියලු දෙනාටම ඒ තුළ තරග කරන්න පුළුවන්. පක්ෂ දේශපාලනය අනවශ්‍යයි.

පාර්ලිමේන්තුව ගැන විශ්වාසය තබාගෙන ප්‍රශ්න විසඳන්න ඔබ යෝජනා කරනවා. නමුත් එය කරන්න පුළුවන්ද?


මූල්‍ය බලතල ඇතුළු තවත් බලතල තිබෙන නිසා පාර්ලිමේන්තුවට එය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව පරීක්ෂාව යටතේ කළ යුතුයි. අයි.එම්.එෆ්. යාමත් කළ යුත්තේ එහෙමයි. ආණ්ඩුවත් අරමුදලත් අතර එකඟතාවක් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මොකද වෙන්නෙ?


ණය ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡා කෙටි කාලයකින් අවසන් කරන්න පුළුවන්. කොන්දේසි ඉදිරිපත් කරයි. නමුත් අයි.එම්.එෆ්. සහතිකය ගැනීම වැදගත්. ගිය අවුරුද්දෙ සහතිකය ගත්තා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. දැන් රුසියාව යුක්රේන යුද්ධය තියෙනවා. අප්‍රිකා – ආසියා රටවල් රැසක් අයි.එම්.එෆ්. එකට ගොස් සාකච්ඡා කරලා සහන ගත්තා. ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, ජැමෙයිකාව. පාකිස්තානය වැනි රටවල්. මම යන්න කීවේ 2020 සිටයි.



ඔබ පස් වරක් මේ රටේ අගමැති වූ ජාත්‍යන්තර අත්දැකීම් බහුල දේශපාලනඥයෙක්. සර්ව පාක්ෂික සමුළුවෙන් පසුව හෝ ජනපති අගමැති ඔබ සමග සාකච්ඡා කළාද?

තවම කතා කළේ නැහැ. කතා කළොත් මම කියන්නම් කරන විදිහ.

ඔබ අගමැති හෝ ජනාධිපති ධුරයේ සිටියා නම් මෙවැනි අර්බුදයක් නිර්මාණය වෙයිද?


එහෙම එකක් වෙන්නෙ නැහැ. 2001 දී ආර්ථිකය කඩා වැඩුණත් මම ජනතාව බඩගින්නේ තිබ්බෙ නැහැ. ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත කළා.

ඔබ හයවන වරටත් අගමැති වෙන්නෙ කවදද?

මට අගමැති ධුරයක් අවශ්‍ය නැහැ. මම තනි මන්ත්‍රි. මම කොහොමද අගමැති වෙන්නෙ.

2015 වසරේදීත් බහුතරය නොමැතිවයි ඔබ අගමැති වුණේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු අපි කෙටි කාලයක් ආණ්ඩුව පවත්වාගෙන ගියා. මෙවරත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසු සුළුතරයකින් ආණ්ඩුව පවත්වාගෙන ගියා. ඉන් පසු මහ ඡන්දයට ගියා. එයින් තමයි ප්‍රශ්නය විසඳා ගත්තේ.

අගමැති ධුරය භාර ගන්න කියා යෝජනාවක් ආවද?


මම කොහොමද අගමැති ධුරය භාර ගන්නේ. අගමැති වෙන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් ඕනේ. පක්ෂ නායකයෙක් විය යුතුයි. නැතිනම් අනෙක් අය පාලනය කරන්න බැහැ. වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරය පොහොට්ටුවේ අයයි. ආණ්ඩුවක් කිරීමේදී පක්ෂවල විනයක් තිබිය යුතුයි. දැන් විනය නැහැ. එක එක කණ්ඩායම් අරගෙන ආණ්ඩු හැදීම අස්ථාවරයි.

උදයජීව ඒකනායක (අරුණ)