sathosa-sahana-malla

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට දෙන සහන මල්ල බොහෝ අලෙවි සල්වල නැති බවට ජනතාව මැසිවිලි නගති.

ලංකා සතොස අලෙවි සල් වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නැති බව ජනතාව පවසති. ඇතැම් ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනතාව කියති.

නාඩු හෝ සම්බා හෝ කිලෝ ග්‍රෑම් 10ක්, සීනි කිලෝ එකක්, හයිලන්ඩ් කිරි පිටි පැකට් එකක් සහ තේ කොළ පැකට්ටුවකින් සහන මල්ල සමන්විත වේ. අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හඳුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් 1950කි. මෙයට අමතරව සතොස මගින් දෙන හාල්, සීනි, පරිප්පු, ටින් මාළු ආදී භාණ්ඩ අලෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති.



බොහෝ ලංකා සතොස අලෙවිසල සීමා සහිතව හෝ හාල්, පරිප්පු ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට නැතැයි ද ඔවුහු සඳහන් කරති. මිල දර්ශනය පමණක් ප්‍රදර්ශනය කර තිබුණත් සතොස ශාඛා මගින් මිල දී ගැනීමට භාණ්ඩ නොතිබූ බව පාරිභෝගිකයෝ පැවසූහ. සහන මල්ල ජනතාවට දීම සඳහා අවශ්‍ය භාණ්ඩ සියලුම ලංකා සතොස අලෙවිසල්වලට යොමුකර ඇතැයි මේ පිළිබඳ කළ විමසීමේ දී ලංකා සතොස උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.  එමෙන්ම සහන මල්ලේ පවතින අධික ඉල්ලුමට සරිලන සැපයුමක් දීම අසීරු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.