sinhala-avurudu-food

සිංහල අලුත් අවුරුදු උදාවක එළිපත්තට  අපි පිවිස සිටින්නෙමු. මේ තෙල්, පිටි, ලුණු  සේම පැණි රස ආහාර වර්ග බහුලව ආහාරයට ගැනෙන කලයකි. රෝගී නිරෝගී සියල්ලෝම තම අසනීප තත්ව පසකලා රිසිසේ එවන් ආහාර භුක්ති විඳිති. තෙල්,  පිටි, ලුණු ස්ම පැණි රස ආහාර දිගුකල් පරිභෝජනය නුදුරු දිනකදීම බෝ නොවන රෝග සඳහාද හේතු පාදක වන බව නොරහසකි. වාර්ෂික පුද්ගල මරණ අනුපාතය ගෙන බැලුවොත් ඉන් සියයට අසූතුනක්ම බෝ නොවන රෝග හේතුවෙන් වාර්තා වූ මරණයි. එයින් සියයට දහයකටම දියවැඩියා රෝගය හේතු වන අතර සියයට තිස් හතරකට හෘදයාබාධ සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගී මරණ හේතු වේ.

එනම් මන් හෘදයාබාධ, අංශභාගය හෙවත් ආඝාතය,හෘදයේ බිඳවැටීම් වැනි රෝගාදියයි. අද පුද්ගල මරණ අනුපාතය ගෙන බැලුවොත් බෝ නොවන සේම බෝ වන රෝගවලින් මිය යන ප්‍රතිශතයද ඉහළ අගයක් ගෙන ඇත.එබැවින් අවුරුදු කාලයේදී ලෙඩ නොවී නිසි පමණ දැනගෙන ආහාර භුක්ති විඳින්නේ කෙසේද යන්න දැනුවත් වීම අවශ්‍ය කෙරේ.


අවුරුදු කාලයේදී පැණිරස කෑම වැඩිපුර කෑවොත්

නිරෝගී පුද්ගලයන් සේම රෝගී පිරිස්, තරුණයන්,  වැඩිහිටි කණ්ඩායම් නිරන්තරයෙන්ම තම සෞඛ්‍යයට මුල් තැනක් දීම ප්‍රධාන වේ. එවිට දැනටමත් රෝගීව සිටින පුද්ගලයන්ට පවා විවිධ සංකුලතා මඟහරවා ගත හැකි වනු ඇති. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පසුගිය මට දත්ත පෙන්වා දෙන පරිදි පැණිරස ආහාර පරිභෝජනය නිසා අපේ රටේ සියයට හතළිස් පහක් බර වැඩි තරබාරු ගනයට. වැටෙන අතර ඉන් සියයට විසි පහක් පුරුෂ පක්ෂයයි. සීනි හෙවත් පැණි රස ආහාර ගැන දැනගෙන පරිභෝජනය සීමා කිරීම, ලෙඩ රෝගාදිය මෙන්ම සංකුලතා රැසකින්ම බේරීට ඉවහල් වනු ඇත. නිරෝගිමත් පුද්ගලයකුගේ දිනක සීනි පරිභෝජනය කපාපු තේ හැඳි 06කට අඩු ප්‍රමාණයක් විය යුතුය. ඒත් අපේ දනික ආහාර රටාවේදී නියතය ඉක්මවා යමින් දිනක සීනි පරිභෝජනය තේ හැදි 10ත් 12ත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි වී ඇත. මෙය යහපත් ප්‍රවණතාවක් නම් නොවන බව කිව යුතුමය.

වර්තමානයේදී මිනිසා කාර්යබහුල ජීවිතයකට හුරුව ඇතේ මනස මෙහෙයවා කරන ක්‍රියාකාරකම්වලින් පමණකි  නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගැනීමෙහිලා ව්‍යායාම්වල ඇති වැදගත්කමද අමතකව ඇති සෙයකි.


කය වෙහෙසා ක්‍රියාශීලී නොවීමෙන් පැණි රස ආහාර පරිභෝජනයෙන් සිරුරට ඇතිවන විපාක ගැන ඔබ දැනුවත්ද?

ප්‍රමාණය ඉක්මවා අපි ගන්නා පැණි රස ආහාරවල අඩංගු සීනි වැඩි ප්‍රමාණය තෙල් වශයෙන් සිරුරේ තැන්පත් වේ. මෙමගින් ශරීර බර වැඩි වීම ආදී සංකූලතා ඇති වේ. රුධිර පීඩනය ඉහළ යාම, හෘදයාබාධ මෙන්ම සමහර පිළිකා රෝග තවාදියටත් මෙය හේතු වේ. එමෙන්ම මනසේ සුවපහසුව බිඳී යාම, චර්යාත්මක වෙනස්කම්වලටද භාජන වේ.නිරාහාර රුධිර පරීක්ෂණයකදී රුධිරයේ සීනි මට්ටම රුධිරය මිලිලීටර 100කට මිලිග්‍රෑම් 100ට අඩුවෙන් පැවතීම සාමාන්‍යයි. එය මිලිග්‍රෑම් 100ත් 126ත් අතර මට්ටමේ පැවතීම පූර්ව දියවැඩියා තත්ත්වයක් ලෙස හැඳින්වේ. එම මට්ටමේ  පසුවන පුද්ගලයන් පිටි, සීනි භාවිතය අවම කළ යුතු අතර  ජීවන චර්යාවේ වෙනස් වීම් සමගින් දියවැඩියා රෝගීන් වීමට ඇති ප්‍රවණතාව අවම කරගත හැකිය. නිරාහාර සීනි මට්ටම මිලිග්‍රෑම් 126ට වඩා වැඩි වූ විට එම තත්වය දියවැඩියාව ලෙසට හඳුනා ගැනේ.

සිරුරේ සමස්ත ඉන්ද්‍රිය පද්ධතියටම බලපාන දියවැඩියා රෝගයට ගොදුරු වනවාට වඩා ආහාර ගැනීමේදී පැණිරස ආහාර අවම පරිභෝජයකට හුරු වීම පහසුවෙන් කළ හැකිය. රුධිර සංසරණ පද්ධතියට, වකුගඩුවලට, මොළය, රුධිර වාහිනීවල වෙනස් වීම්, ස්නායු පද්ධතියට එකසේ දියවැඩියා රෝගය බලපෑම් කළ හැකිය. දියවැඩියා රෝගියකු වුවත් පැණි රස ආහාර පරිභෝජනය අඛණ්ඩව කරනවානම් සංකුලතා ඉහළ යාමට ඇති අවකාශය වැඩිය. මෙහිදී පැණි රස ආහාර භාවිතය මුළුමනින්ම පාහේ නතර කිරීම වෙනුවට අවම භාවිතයට හුරුවන්න කියන පණිවුඩයට මුල්තැනක් මෙන්ම අනුගත වීමක්ද අවශ්‍ය කෙරේ. පැණි රස සේම අධික ලුණු භාවිතය නිසා රුධිර පීඩනය ඉහළ යාමද සිදු වේ. ඇතැම් කාන්තාවෝ බත් පිසීමේදීත් ලුණු එකතු කර ගැනීමට පුරුදුව සිටිති. ලුණු දිගුකාලයක් පුරාම ගැනීම රුධිර පීඩනය ඉහළ යාමට හේතුවකි.


ලුණු අවම භාවිතය නිරෝගී වීමේ රහසක්

පුද්ගලයකු සඳහා දිනකට නිර්දේශ කරන ලුණු ප්‍රමාණය කැපූ තේ හැඳි එකකට අඩු විය යුතුය. සාමාන්‍ය ලුණුවල අඩංගු රසායනික සංයෝගය 'සෝඩියම් ක්ලෝරයිඩ්' වන අතර මින් ‘සෝඩිම්’ කොටස අපේ රුධිර පීඩනය හා පමාව පාලනය කිරීමටත්, ස්නායු පණිඩ හුවමාරු ක්‍රියාවලියටත්, මාංශ පේශි නිසි සමායෝජනය සඳහාත්  අවශ්‍ය කෙරේ. ලුණු තේ හැන්දකින් එනම් ග්‍රෑම් පහකින් සෝඩියම් ග්‍රෑම් දෙකක් ලැබේ. එම ප්‍රමාණය ඉහත ක්‍රියාවලි පවත්වා ගැනීමට ප්‍රමාණවත්ය. එහෙත් සාමාන්‍යයෙන් පුද්ගලයකු ලුණු තේ හැඳි දෙකක් තුනක් අතර ප්‍රමාණයක් දිනකට ආහාරයට එකතු කර ගන්නා බැවින් ඒ සමග වැඩි ජලය ප්‍රමාණයක් රුධිර පද්ධතිය තුළට එකතු වේ. මෙම තත්ත්වය කල් ගත වීමෙන් රුධිර වාහිනීවල සිදුවන වෙනස්වීම් නිසා අධික රුධිර පීඩනය ඇති වේ. අධික රුධිර පීඩනය නිසා හෘදයාබාධ,  අංශභාගය, වකුගඩු අකර්මණ්‍ය වීම, ඔස්ටියෝපොරෝසිස්, ආමාශ පිළිකා මෙන්ම  ඇදුම වැනි ආසාත්මිකතා ඇති කරවීමේ  අවදානමද වැඩි කරවයි.

තෙල් කෑම අඩුවෙන් කමු

මිනිස් සිරුරට දිනකට තෙල් හා මේද ග්‍රෑම් 50ක් පමණ අවශ්‍ය වේ. එම ප්‍රමාණය  ලබාගන්නේ සංතෘප්ත, ඒක අසංතෘප්ත, බහු අසංතෘප්ත තෙල් හා මේද අශ්‍රයෙනි.

නිරෝගී පුද්ගලයකුගේ රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම රුධිරය මිලිලීටර් 100කට කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 200කට වඩා අඩු වීම යහපත් ප්‍රවණතාවකි.එබෑවින් ආහාර පිළියෙළ කිරීමේදී ගැඹුරු තෙලේ බැදීමට පොල්තෙල් නුසුදුසුය. ඒ පොල්තෙල් සංතෘප්ත මේද ගණයට වැටෙන හෙයිනි. එහිදී අතරමැදි මේද අම්ල (ට්‍රාන්ස් මේද) ඇති වීම අවම වන බැවින් රුධිර වාහිනී අභ්‍යන්තරයට හානි වීම වළක්වා ගත හැකිය. ඒවගෙම සමෙහි මනා පැවැත්මටද විටමින් ඒ, බී හා ඩී අවශ්‍ය වේ. ඒවා තෙල් සමග දියවී සිරුරට උරා ගැනේ.

පැණිරස, තෙල් සහ ලුණු භාවිත කර ආහාර සැකසීමේදී ආහාරවල ප්‍රමාණය කුඩා කිරීම, මෙකී මූලික අමුද්‍රව්‍ය භාවිතය අවමව යොදා ගැනීම කළ හැකිය. එක් වේලක් පැණිරස ආහාරයක් ගතහොත් දවසේ ඉතිරි වේල්ද පැණිරස. ආහාර ගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට දේශීය එළවළු, පලතුරු සහ පලා වර්ග එකතු කර ගත හැකිය. තම සෞඛ්‍ය - රැකෙන පරිදි නිවැරැදි ආහාර රටාවකට හුරු වීම අමාරු නැත. දෙනිකව ව්‍යායාම් කිරීමේ හොඳ පුරුද්දටද ඔබ නැවතත් අනුගත වීමට අවශ්‍යයි.


ළමයිගේ කෑම බීම ගැනත් සැලකිලිමත් වෙමු.

හැදෙන වැඩෙන දරුවන් කෙතරම් කෑම බීම ගත්තද ඔවුන්ගේ ආහාර රටාවට සීමා පැනවීම වැඩිහිටි අප  නොකරන දෙයකි. මන්ද දරුවන්ට ශක්තිය ලබා ගැනීම සඳහා හැදෙන වැඩෙන වයස් සීමාවට එවැනි තහංචි උචිත නැතැයි අප සිතන නිසාවෙනි. එය වැරැදි මතයකි. දරුවන් වුවද ක්‍රියාශීලී බවින් මිදුනහොත් අනාගතයේදී ඔවුන්ට රෝගී වීම වළක්වා ගත නොහැකිය.


දින චරියාව අලුත් කර ගනිමු

දිනකට පැයක් දෙකක් පමණ හොඳින් දහදිය පිටවන පරිදි ක්‍රීඩාවක නිරත වීමට දරුවාට ඉඩ සලසා දිය යුතුය. එසේම තද අව් රශ්මිය නොමැති එළිමහනක් නම් වඩා සුදුසුය. හොඳින් ජලය පානය කිරීමත් හොඳ සෞඛ්‍ය පුරුද්දකි.  පිපාසය එනතුරු නොසිට හැකිතාක් පිරිසුදු ජලය පානය කිරීමට වගබලා ගන්න. එය නිරෝගී දිවි පැවැත්මකට ඇවැසිම කාරණාවකි.  වැඩිහිටි පුද්ගලයකු නම් දිනකට ලීටර් දෙකහමාරක් තුනත් අතර ප්‍රමාණයක් ජලය පානය කළ යුතුය. දරුවන්  සඳහා එය වයස් මට්ටම් අනුව මිලි ලීටර් 700, ලීටර් 01, ලීටර් 02 දක්වා විය හැකිය.මුලිකවම තෙල්, ලුණු, සීනි සහ පිටි මෙම රසකාරක අඩංගු කර තැනූ ආහාරවලින් වැළකීමද පුරුද්දක් වශයෙන් දෙනික චර්යාවට එකතු කර ගැනීමටත් අමතක නොකරමු.


සටහන- මාධවී ධර්මරත්න