ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයට වේගපන්දු පුහුණුකරුවෙකු නොමැතිව සහභාගී වීමට සිදුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු කළ විමසීමකදී පවසා සිටියේ

මේ වනවිට මතුව ඇති තත්ත්වය අනුව බොහෝදුරට බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය වේගපන්දු පුහුණුකරු නොමැතිව යාමට සිදුවන බවයි.මීට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරයට පත්කළ  හිටපු සුපිරි වමත් වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස්ට ලබාදුන් පත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක් මතුව තිබීමයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චමින්ද වාස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා (18දා) සාකච්ඡාවක් පවත්වා ඇතත්

එම සාකච්ඡා සාර්ථක වී නොමැති බව අනාවරණය වේ. වාස් ඉල්ලීම් 03ක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතත් එහිදී කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ. මෙහිදී වාස්ට ලබාදුන් කොන්ත්‍රාත්තුව තරගාවලියෙන් තරගාවලියට (Tour by Tour) ලබාදෙන කොන්ත්‍රාත්තුවක් වන අතර, ඊට ආදැඩි අකැමැත්තක් දක්වා තිබේ. ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ වසරක හෝ වසර 02ක කොන්ත්‍රාත්තුවක් බවද වැඩිදුරටත් අනාවරණය වේ.මීට අමතරව වාස් තමා ලබාදෙන විශේෂඥ දැනුමට නිසි ගෙවීමක් ඉල්ලා ඇතැයි වාර්තා වන අතර, ඊටද නිසි ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමිව නැත.චමින්ද වාස් සමග සිදුකළ සාකච්චා අසාර්ථක වූ බවත් බොහෝදුරට වේගපන්දු පුහුණුකරුවෙකු පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය. වාස් තරගාවලියෙන් තරගාවලියට ලබාදෙන කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් අපිත් සමග එකඟතාවකට ඇවිල්ලා තිබුණා. එහෙත් හිටි හැටියේම ඔහුට ලැබෙන ගෙවීම ප්‍රමාණවත් නැහැ කියලා ඔහු කිව්වා.

ඉතින් අපිට ක්‍රිකට් ආයතනය විදිහට එහෙම වැඩ කරන්න බැහැ. බොහෝදුරට මේ තරගාවලියටත් අපිට වේගපන්දු පුහුණුකරුවෙකු පත් කරගන්න බැරිවෙයි' යනුවෙන් අදාළ නිලධාරියා පවසා සිටියේය. මේ අනුව චමින්ද වාස් මෙම පත්වීම බොහෝදුරට ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ.

(පැතුම් ශ්‍රී විජේරත්න)