yahani-for-sri-lanka

‘ගෝ හෝම් ගෝටා‘ යනුවෙන් රටපුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් වෙද්දී ජනප්‍රිය ගායිකා යොහානි සිය හඬ කාලීන ගැටලුව වෙනුවෙන් අවදිකිරීම සැකසහිත බවට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇති කර තිබේ.
යොහානි සිය කතාවේදී තමා දේශපාලනය ගැන අදහස් දැක්වීමට නොතේරෙන්නෙකු බවට හා එසේ අදහස් දැක්වීමක් සිදුකරන්නට කැමති නැති කෙනෙකු ලෙස පවසන අතර පසුව ඇය රටේ ආර්ථික දරිද්‍රතාව වෙනුවෙන් පිටරටුන්ගේ ඩොලර් මුදල් එකතුකිරීමේ අරමුදලක් ප්‍රකාශයට පත් කරන්නීය.

‘ෆොර් ශ්‍රී ලංකා‘ නමින් ඇය අරඹන මෙම අරමුදල් ව්‍යාපාරය අන්තර්ජාලය හරහා මුදල් එකතුකරදෙන gofundme.com හි යොමුවක් ඔස්සේ ඇගේ රසිකයින්ට ඇය ඉදිරිපත් කරයි. ඇය ඩොලර් 25000 ක ඉලක්කයක් වෙනුවෙන් එහි පළමු පියවර තබා ඇති අතර අද (9) උදේ වනවිට ඩොලර් 2630 ක් (රුපියල් ලක්ෂ 8ක් පමණ) මේ වනවිට උපයා තිබේ.
යොහානිගේ හඩ ගෝඨාට විරුද්ධව පාවිච්චි කර නැති බවටත් ඇය වක්‍රාකාරව පවතින රජයට සහය දැක්වීමට ඇගේ ප්‍රසිද්ධිය පාවිච්චි කර ඇති බවටත් විවේචන පැනනගිමින් පවතී. එසේම විරෝධතාවේ මුඛ්‍ය අරමුණ වන ‘ගෝටා ගෙදර යැවීමේ‘ අරමුණ ඇයගේ අලුත් අරමුදල් වැඩසටහන මගින් වෙනත් පැත්තකට යවා ඇති බවටත් ඒ ඔස්සේ විරෝධතාව අමතක කර වෙනත් කාරණාවක් කෙරෙහි ලෝක අවධානය යොමු කර ඇති බවටත් ඒ සමගම කියැවේ.
යොහානි අරමුදල් වැඩසටහන සඳහා භාවිත කරන ‘ෆොර් ශ්‍රී ලංකා‘ නමැති ටැග් එක මීට පෙර අගමැති මහින්ද රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා උපයෝගී කරගත්තක් වීමද මෙම සැකසහිත කාරණා තීව්‍ර කර තිබේ.


ගෝඨාභය පාලනය ගැන වචනයක් හෝ නොකියා අරමුදලක් ඉස්සරහට ගැනීමෙන් යොහානිගේ ලොවපුරා රසික රසිකාවියන් ලංකාවේ ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් නොව මුදල් ප්‍රශ්නයක් පමණක් යන්න මතුකරවන බවටත් මෙසේ කීමෙන් රාජපක්ෂ රෙජිමය කෙරෙහි මතුවියහැකි අප්‍රසාදය වෙනතක යොමුකර රාජපක්ෂලාට යොහානි උදව් කර ඇති බවටත් මෙම විවේචන පෙන්වා දෙයි.
මුලින්ම ඉංග්‍රීසි බසින් කතාවකින් ඇය සිය පණිවිඩය කියන්නේ ලංකාවට නොව ලෝකයටය.දෙවනුව ලිපියක් ලෙස පණිවිඩය සිංහල බසින් ඉදිරිපත්කරන නමුත් එහි ඇත්තේ පෙර කතාවේ පරිවර්තනය නොවේ.මෙවැනි සැකසහිත කාරණා මතුකරන යොහානි මෙම අවස්ථාවේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන ඇති බවත් ඇයට කොළඹීන් නිවසක් දුන් රජය රැකීමට කටයුතු කරන බවත් විවේචකයින් තවදුරටත් පෙන්වාදී තිබේ.







පෙර ලිපිය -  යොහානිත් ‘ගෝ හෝම් ගෝටා‘ නොකියා කියයි