yahani-go-home-gota

ජනප්‍රිය ගායිකා යොහානි සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා විශේෂ සටහනක් සමග වීඩියෝවක් බෙදාගෙන තිබේ. එහිදී ඇය ලංකාවේ උද්ගතව ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය ගැන කතා කරයි. ඇය කියා සිටින්නේ ඇයගේ වැඩකටයුතු හැමවිටම දේශපාලනයෙන් තොර නමුත් මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සිටගන්නා බවයි.

එසේම ලංකාව ගැන තවමත් ආඩම්බර වන බවත් ඇය පවසන්නීය. ඇයද ලංකාවේ ජනතාව විඳිනා වේදනාව වෙනුවෙන් යමක් කරන බවත් ජනතාව ක්‍රියාවෙන් පළ කරන කටයුතු දිගටම කරගෙන යන ලෙසත් දන්වා සිටියි.

ශ්‍රී ලංකාවේ මිලිටරි ප්‍රධානියෙකුගේ දියණියක ලෙස රාජපක්ෂ රෙජිමය සමග සමීප සම්බන්ධතා තිබුණ නමුත් යොහානි ස්වාධීනව මෙහිදී මත පළ කිරීම සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා අගය කර ඇත. කෙසේ වෙතත් ඇය සෘජුවම ගෝටා ගෝහොම්  නොකියයි. ව්‍යංගයෙන් කියයි.
ඇගේ සම්පූර්ණ සටහන මෙසේය.



‘මමත් ඔබත් සමගයි. මේ මොහොතේ ලංකාවේ නැති වුණත් ඔබේ අරගලය මගෙත් අරගලයයි.

නිහඬව සිටියේ ප්‍රතිපත්තියක් ලෙස, දේශපාලනය ගැන කතා නොකරන බැවිනුත් , දේශපාලනය ගැන සැලකිය යුතු දැනුමක් නැති බැවිනුත් , එක දාගන්න විතරක් අරගලයට සම්බන්ද වීමට අකමැති බැවින්ය. නමුත් අපේ රට පන නැංවීමට අලුත් දූරදර්ශී නායකයන් පිරිසක්ද, එය පිලිවෙලින් කිරීමට විෂය පිලිබඳ උගත් විශේෂඥ පිරිසක්ද අවශ්‍ය බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. කාටවත් ඇඟිල්ලක් දික් කර වැරදි පෙන්නන්න පරිනත නැති බැවින්, මේ අරගලයේදී මමත් ඔබ සමගයි පමණක් කියමි.



ඔබෙත් මගෙත් අනාගතය සුරකින්න ඕන නායකයින්, දේශපලකයින් ඔවුන්ගේ වගකීම සහ යුතුකම් පැහැර හැරීම හේතුවෙන් මගේ රට පත්ව තිබෙන තත්වය ගැන ඔබට දැනෙන වේදනාව මටත් නොඅඩුව දැනෙනවා.

මමත් මගේ කණ්ඩායමත් නිර්මාණකරුවන් විදිහට පමණක් කටයුතු කරන පිරිසක්. ඇතැම් උත්සව අවස්ථා වල දේශපාලකයන් මුණ ගැසී, ඔවුන් සමග කතා බහ කර තිබුනත්, මමත් මගේ කණ්ඩායමත් කිසි විටෙක දේශපාලන පක්ෂයක් සමග කටයුතු කර නැති බව වගකීමෙන් ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. දේශපාලනය නිසා කිසියම් ප්‍රතිලාභයක්ද ලබා නැත. මගේ පියා ගැන ආටෝප ලිවීමට අවශ්‍ය නැත.

මමත් මගේ කණ්ඩායමත් තරුණ වෘත්තිමය නිර්මාණකරුවන් පිරිසක්. 2019 අප්‍රේල් මාසයේ සිට ඔලුව උස්සන්න හදන පිරිසක්. ඉදිරි මාස 6දී ලංකාවේ සැලසුම් කර තිබු වෘතිමය කටයුතු කිසිවක් කිරීමට පරිසරයක් නැති වීම ගැන කණගාටු වෙමු.




අපිට දැනෙන වේදනාව, එදා වේල හොයාගන්න බැරි අම්මලා , තාත්තලට , ඉස්කෝලේ යන්න බැරි නංගිලා, මල්ලිලාට , බෙහෙත් හොයාගන්න බැරි ආච්චිලා , සීයලාට දැනෙන විදිහ මට හිතා ගන්න බැහැ.

ඔවුන් වෙනුවෙන් යමක් කරන්නයි කල්පනාව. අපේ පිටරට සිටින රසිකයන් , මිතුරන් එකතු කරගෙන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් සමූහ අරමුදලක් ලෙස එකතු කර , ලංකාව තුල ආහාර සහ ඖෂධ සඳහා වැය කිරීම සඳහා පරිත්‍යාග කිරීමට ක්‍රියා මාර්ගයක් හදමින් සිටිමු. වැඩ කරන අතර , මගේ යු ටියුබ් නාලිකාවේ සහ අනෙකුත් ස්ට්‍රීමින් නාලිකා වල ඉදිරි මාස 3 ආදායම මේ සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙමි.

මගෙත් එක්ක මේ ක්‍රියාවලියට “ෆෝ ශ්‍රී ලංකා” For Sri Lanka පදනම එකතු වී ඇත. අපි වැඩක් කරන්න හදන තරුණ පිරිසක්. ඔබේ සහය බලාපොරොත්තු වෙමු. අඩුපාඩු පෙන්වා දෙන්න.