10-parliament-mp-slpp-message

පොහොට්ටුවේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දෙනාගේ කණ්ඩායමෙන් මාධ්‍ය නිවේදනයක් පහතින් පළවේ. නිවේදනය නිකුත් කර ඇති අයගේ ලැයිස්තුව පහළින් පළවේ.

රටෙහි ඇතිවී ඇති අර්බුදකාරී වාතාවරණය යටතේ, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්වීමත් සමගම සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ප්‍රමාද වී ඇති වාතාවරණය යටතේ රට අරාජික වී අර්බුදය තව තවත් වර්ධනය වන ආකාරයක් පෙනෙන්නට ඇත.

රට අරාජික වීමෙන් වළක්වා ගැනීම සඳහා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන යටතේ, තවදුරටත් කාලය වැය නොකර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතේ දේශපාලන සංහිදියාවකින් යුතුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකගත්වයෙන්, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අත්‍යවශ්‍ය අමාත්‍යංශයන් සඳහා කැබිනට් අමාත්‍යවරු පත්කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ඉක්මනින් ගත යුතු බව අප කණ්ඩායම අවධාරණය කර සිටිමු.

තවද මේ අවස්ථාවේ සිවිල් සමාජය තුළ ඇතිවී ඇති කලබලකාරී වාතාවරණය සංසිඳුවීම පිණිස ආරක්ෂක යාන්ත්‍රණය ඉතා ඉක්මනින් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්; දේශපාලනික හා පුද්ගලික පලිගැනීම්, මංකොල්ලකෑම් ආදී අපරාධයන් සමාජය තුළ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් තුළ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතු බව අප වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටිමු.



මෙම අර්බුදය කලින් හදුනාගෙන,
පසුගිය අප්‍රේල් 19 දින ඉතා පැහැදිලිව ගරු ජනාධිපතිතුමාත්, ගරු හිටපු අග්‍රාමාත්‍ය තුමාත් පෞද්ගලිකව හමුවී රට මුහුණ දෙන අර්බුදය ජය ගැනීමටත්, ගෞරවාන්විත සමුගැනීමක් සහ රටේ දේපළ හා ජීවිත පාතාල කල්ලි කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත්, අප දසදෙනා පක්ෂය තුළ ගෙන ගිය අරගලය, හුදු මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍යවරයා එළවීමක් ලෙස සලකා, අප කණ්ඩායමට එරෙහිව අසත්‍ය චෝදනා සහ තර්ජන එල්ල කරමින්, අර්බුදයේ ගැඹුර ගැන අනවබෝධයෙන් උද්දච්ච ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සමස්ත ජාතියත් මුහුණදෙන බව කණගාටුවෙන් සඳහන් කරමු.

අප 19 වනදා පෙන්වා දුන් සත්‍යය නොතේරුම් ගෙන කල් මරමින් තීරණ ප්‍රමාද වීම ගැන සහ ශ්‍රී ලංකාව අද පත්වී ඇති තත්වය සම්බන්ධයෙන් අප අතිශය කණගාටුව පත් වෙමු.

තවද මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවි අහිමි වූ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැතිතුමා ප්‍රමුඛ සියලු දෙනාට අපගේ සාතිශය සංවේගය පළ කරන අතර දේපළ හානි වූ සහ විවිධ අතවරයන්ට ලක්වූ සියලු දෙනාට අප කණ්ඩායමේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

ඇතිවී ඇති වර්තමාන ආර්ථික අර්බුදය තුළ, මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා තවදුරටත් සිදුවීමෙන් ආර්ථිකමය වශයෙන් හා සමාජයීයමය වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවම



දරිද්‍රතාවේ පතුළට කිඳා බසින බව නොරහසකි.

එසේ හෙයින් අපගේ 2022/ 5/ 9 දිනැති මාධ්‍ය නිවේදනයේ ප්‍රකාශ කළ පරිදිම අප නැවතත් අවධාරණය කරනුයේ සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ප්‍රති ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම කලබලකාරී සහ මැර ක්‍රියා ද අප කණ්ඩායම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් තරාතිරම නොබලා වරදකරුවන්ට සුදුසු දඬුවම් ලබාදිය යුතු බවත්ය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන

1. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල

2. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ

3. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි

4. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

5. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු

6. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර

7. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල

8. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති

9. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල

10. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක