වර්තමාන ආර්ථික අර්බුදය වැරදි තීරණකිහිපයක අවාසනාවන්ත ප්‍රතිඵලයක් බව වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පැහැදිලි කර තිබේ.
මේ එම සටහනයි.
ලංකාව මේ වනවිට මුහුණදී සිටින අර්බුද දෙකකි. එක් පැත්තකින් නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය සහ තවත් පැත්තකින් නිර්මාණය වී තිබෙන දේශපාලන අර්බුදය එම අර්බුද දෙකයි. මෙරට ආර්ථික අර්බුදය අලුත් දෙයක් නොවේ. නිදහස ලැබූ දිනයේ පටන් අඩු වැඩි වශයෙන් තිබුණකි. එය හරියට අළුයට තිබූ ගිනි පුපුරු හා සමානය. 1948 දී සකස් වූ පළමු පස් අවුරුදු සැලැස්ම දෙස බලන විට මේ කාරණය තහවුරු වනු ඇත. රටේ ආහාර අර්බුදය, ආනයන අපනයන පරතරය, වෙළෙඳ ශේෂය යනාදිය සම්බන්ධයෙන් එම සැලැමේදී ද කතාකර තිබේ. එදා පටන් පැවැති ආර්ථික අර්බුදය එක් එක් කාලවල අඩුවැඩි වශයෙන් පාලනය කරමින් රටට ජනතාවට අහිතකර නොවන මට්ටමින් පවත්වා ගැනීමට විවිධ ආණ්ඩුවලට හැකියාව ලැබුණි.
මෙකී ආර්ථික අර්බුදය ඉස්මතු වූයේ 2019දීය. ලංකාව තම ආදායමට වඩා වියදම් කරන රටකි. රටක් නොව කුමන පුද්ගලයකු වුවත් තම ආදායමට වඩා වියදම් කරන්නේ නම් නිර්මාණය වන්නේ ආර්ථික අර්බුදයකි. රටක් වශයෙන් ආදායමට වඩා වියදම වැඩි වූ තැන එකී පරතරය පියවා ගන්නේ වෙළඳපොළෙන් ණය ගැනීමෙනි.
මුල් කාලයේ එසේ සහනදායී ණය ගත්තද පසුව වෙළඳපොළෙන් කොන්දේසි සහිත ණය ගත්තේය. සහනදායී නොවන ණය ද ලබාගෙන තිබේ. මේ ආකාරයට විවිධ ක්‍රමවලින් ණය ලබාගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ ණය බර මේ වනවිට ට්‍රිලියන 17 ඉක්මවා තිබේ. ඊට අමතරව රජය වගකියන සමස්ත ණය ට්‍රිලියන 19ක් පමණ වී තිබේ. මෙලෙස ණය ලබාගෙන වියදම් ආවරණය කර ගැනීමට ආණ්ඩු කටයුතු කළේය. එහෙත් කළ යුතුව තිබුණේ එක්කෝ ආදායම් වැඩිකර ගැනීමය. නැතිනම් වියදම් අඩුකර ගැනීමය. ඒ වෙනුවට රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම කළේ හැකි පමණට ආදායම් උපයා ඊට වඩා වියදම් කර හිඟය පියවීමට ණය ගැනීමය.
2019 අග භාගයේ බලයට පත් ආණ්ඩුව ගත් විශේෂ පියවරක් තිබුණි. එනම් බලයට පත් වහා ආදායම් වැඩිකර වියදම් අඩුකර ගැනීම වෙනුවට ආදායම් අඩුකර ගැනීමය. රටේ බදු වැඩි බව කියමින් බදු කපා හැරීමට පියවර ගත්තේය. මේ කපා හැරීම ආර්ථිකයට දරා ගැනීමට හැකි වූයේ නැත. 2019-2020 ආදායම් පරතරය දෙස බලන විට රුපියල් බිලියන 550කින් පමණ ආදායම් අඩු කරගෙන තිබේ. ආදායම අඩු කරගත් පරිසරයක වියදම තවත් වැඩිවී ණය ගතයුතු ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගියේය. වෙළෙඳපොළෙන් පහසුවෙන් තවත් ණය ගැනීමට හැකිවේ යැයි ආණ්ඩුව සිතුවා විය හැකිය. එහෙත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පහළට ඇද දැමීම නිසා බලාපොරොත්තු වූ ණය ප්‍රමාණය ගැනීමට හැකිවූයේ නැත. අර්බුදයට තල්ලු වූයේ මේ අනුවය. ආදායම් අහිමි වීමත් ණය ආදායම් අපේක්ෂිත ප්‍රමාණයට නොලැබීමත් හේතුවෙන් අර්බුදය උග්‍ර විය.
කොරෝනා වසංගතය, ජාත්‍යන්තර වෙළෙඳපොළේ උච්චාවචන යනාදියේ බලපෑමත් සමග ආර්ථික අර්බුදයක් නිර්මාණය වූයේය. කොරෝනාව හේතුවෙන් මේ අර්බුදය ඇති වූ බව කවුරු හෝ කියන්නේ නම් එය එසේ නොවන බව ඉහත කාරණා සාක්ෂි දරනු ඇත. මෙය පැහැදිලිවම වැරැදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් ඇති වූවකි. බදු කපා හැරීමෙන් රටේ රුපියල් ආදායම අහිමිව ගියා සේම ණය ලබා ගැනීමට නොහැකි වීමෙන් ඩොලර් සංචිතද පිරිහී ගියේය. 2019 ආණ්ඩුව පත්වන විට ඩොලර් බිලියන 6.9ක පමණ සංචිත තිබුණි. අද වනවිට එය බිලියන 0.005ක් දක්වා අඩුවී ඇතැයි මුදල් ඇමැතිවරයා හෙළි කර තිබුණි. ටොන් 19.5ක් පමණ වූ රන් සංචිතය 0.5 කට පමණ අඩුවී තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ රටේ ඇතිවී තිබෙන බේදවාචකයේ ස්වභාවයයි. අද වනවිට රට පුරාම කිලෝමීටර් ගණන් දිගට ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම් ද ඊට නොදෙවෙනි ආකාරයෙන් රටපුරා දැක ගන්නට පුළුවන. ඒ වගේම ගෑස් සිලින්ඩරවලින් මාර්ග හරස් කර ජනතාව උද්ඝෝෂණීය කරති.
ඉන්ධන රැගත් නැව් දින ගණන් මුහුදේ රස්තියාදු වන්නේ ඒවාට ගෙවීමට ඩොලර් නැති නිසාය. ගෑස් නැව්වලට ගෙවීමටද ඩොලර් නොමැති බව මේ වනවිට ප්‍රකාශ වී තිබේ. විදුලිය කප්පාදුවද තවත් දිගුවිය හැකි බවට අනතුරු ඇඟවී අවසන්ය. කිරිපිටි ආනයනයට මුදල් නැත. රට තුළ භාණ්ඩ හිඟයක් නිර්මාණය වී දිගු පෝලිම් නිර්මාණය වූයේ ඩොලර් අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් වශයෙනි. දැනට රටේ පවත්නා සංචිත තත්ත්වය අනුව ඉදිරි කාලයේදී මීටත් වඩා අර්බුදයකට රට මුහුණ දෙන බව පෙනෙන්ට තිබේ. ඉදිරි මාස දෙක තුන ආහාර ද්‍රව්‍ය පවා හිඟවිය හැකි කාලයක් වනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබේ. අගමැතිවරයා ඊයේ කළ කතාවෙන් රට තිබෙන භයානක තත්ත්වය පෙන්නුම් කළේය.
රටේ පවතින ඩොලර් අර්බුදය කොතරම් බරපතළ දැයි එම කතාවෙන් රටට හෙළිවිය. එදිනෙදා කෑම බීම සපයා ගැනීම පවා එකී තත්වය යටතේ අභියෝගයක් බවට පත්වනු නිසැකය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පවා කළ නොහැකි තැනකට තල්ලු වන්නට ඉදිරි කාලය තුළ ඇත්තේ වැඩි අවකාශයකි. මේ කියන්නා වූ අර්බුදය රටට හෙළි කිරීමට ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා හෝ මුදල් ඇමැතිවරයා කටයුතු කළේ නැත. ප්‍රශ්නය සඟවා තබා ගනිමින් වෙනත් විකල්ප අනුගමනය කළේය. වාහන ආනයනය තහනම් කළේය. මේ නිසා වාහන ආනයනයෙන් ඉපැයූ බදු ආදායම ද රටට අහිමිව ගියේය. ගැටලුවට වැරැදි විසඳුම් සෙවීමට යාමෙන් ආර්ථික අර්බුදය පරයා දේශපාලන අර්බුදයක් රට තුළ නිර්මාණය කර ගත්තේය.
ආණ්ඩුව සහ රාජ්‍ය නායකත්වය ගෙදර යා යුතුය යන මතය සමාජයේ ගොඩනැගෙන තරමට එම අර්බුදය උග්‍ර වූවේය.
වාහන දේපළ ගිනිබත් කිරීම්, පහරදීම් එහි උච්චතම අවස්ථාව වශයෙන් රටට කළු පැල්ලමක් එක් කළේය. ආර්ථික අර්බුදය තවත් ඉදිරියට තල්ලු කිරිමට මේ කාරණා හේතුවනු ඇත. දැන් සිදුවීම අවසන්ය. මේ සිද්ධියත් සමග දේශපාලන පරිවර්තනයක් සිදු වෙමින් තිබේ. අලුත් අගමැතිවරයෙක් පත්ව සිටී. අගමැතිවරයා අලුත් වුවද ඇමැතිවරුන් හැටියට පත්වන්නේ පැරැණි අයමය. අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පස් වතාවක් අගමැතිවරයා වශයෙන් පත් වුවද ධූර කාලය සම්පූර්ණ කිරිමට හැකිවූයේ නැත. චන්ද්‍රිකා යුගයේත් මෙත්‍රී යුගයේත් සාමකාමී පරිසරයක වැඩ කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඒ අවස්ථා දෙකේදීම අගමැතිවරයාට සිය පක්ෂයෙන් විශාල සහයක් ලැබුණි. ඇමැති මණ්ඩලය තම පක්ෂයේ මහජන නියෝජිතයන්ගෙන් පත්කර ගෙන කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි. එහෙත් මෙවර අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වන්නේ තනි පුද්ගලයකු හැටියටය.
මෙවන් පසුබිමක ගෝඨා - රනිල් බල අරගලය කෙසේ වේවිදැයි කියන්නට තවමත් අපි නොදනිමු. ඒ වගේම එළියේ තිබෙන ජන අරගලයට තවම විසඳුමක් දී නැත. ආර්ථික අර්බුදය හේතුවෙන් දේශපාලන අර්බුදයක් නිර්මාණය වූවා නම් පළමුවෙන්ම ඒ දේශපාලන අර්බුදය විසඳා ගත යුතුය. එතැනදී පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන හෝ තුනෙන් දෙකේ බලය හෝ බහුතරය වැදගත් නැත. පාර්ලිමේන්තූව ඇතුළේ කුමක් කළත් ඉන් පිටත තත්වයට එයින් පිළියම් ලැබෙන බවක් තවම පෙනෙන්නට නැත. යම් යම් වෘත්තීය අරගල සිසු අරගල සම්බන්ධව තවමත් ඇසෙන්නට තිබේ. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති බව මොවුන් විශ්වාස නොකරන බව එයින් ගම්‍ය වන කාරණයකි.
දේශපාලන ස්ථාවරත්වය ඇති නොවන තාක් කල් ජාත්‍යන්තරයෙන් සහයෝගය ගත නොහැක. අර්බුදය තිබෙන තාක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්වත් සහායත් ලැබෙන්නේ නැත. රනිල් වික්‍රමසිංහ යනු ජාත්‍යන්තරය පිළිගත් දක්ෂ නායකයෙකි. එහෙත් මූල්‍ය අරමුදල ණය දෙන්නේ ඔහුට නොවේ. මේ රටටය. රටේ දේශපාලන අස්ථාවරත්වය තිබෙනතාක් ඔවුන්ගේ සහාය ලබා ගැනීමට හැකියාවක් නැත. එනිසා මුලින්ම විය යුත්තේ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමය. ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට නම් අර්බුදයේ ආරම්භය කොතැනදැයි අවබෝධ කරගත යුතුය. වැරැදුණේ කොතැනදැයි සොයාගත යුතුය. එහෙත් ඒ වෙනුවට සිදුවන්නේ අඳුරේ අතපත ගෑමය. 2019 වූ වැරැද්ද විද්වත් කමිටුවක් පත් කිරීමෙන් නිවැරැදි කරන්නේ කෙසේද? එතැනදී බදු ආදායම් වැඩිකර ගැනීමට අනිවාර්යයෙන් සිදුවනු ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම වසරකදී රුපියල් කෝටි 60,000කින් අඩු වූවා නම් වසර දෙකකදී අපේ ආර්ථිකයේ කෝටි 1,20,000ක් දැනටම අහිමිව ගොසිනි. එම මුදල් නැවත සොයා ගන්නේ කෙසේද? දැනට පවතින ආර්ථික වාතාවරණය යටතේ බදු වැඩි කර මේ මුදල් සෙවිය හැකිද?
බදු ආදායම් නංවනවා වෙනුවට නූතන මුදල් ත්‍යය නමින් න්‍යායක්ද පෙර ආණ්ඩුව ක්‍රියාත්මක කළේය. මේ න්‍යය ලෝකයේ ඇතැම් රටවල් අනුගමනය කරන හොඳ න්‍යයකි. න්‍යාය කොතරම් හොඳ වුවත් එය වැරැදියට පාවිච්චි කළොත් ලැබෙන ප්‍රතිඵලයද නරක එකකි. රටේ ආදායම් අඩු නිසා මේ න්‍යාය අනුව යමින් දිගින් දිගටම මුදල් අච්චු ගැසීමට පසුගිය ආණ්ඩුව පියවර ගත්තේය. එහෙත් නූතන මුදල් ත්‍යයෙන් කියන්නේ එවැන්නක් නොවේ. ඉල්ලුම් පාර්ශ්වයේ කඩා වැටීමක් තිබේ නම් එම ඉල්ලුම් ප්‍රමාණය නැවත ස්ථාපිත කිරීමට ආදායම් කඩා වැටී ඇති අයට යම් සහනාධාරයක් දීම වරදක් නොවන බවය. එහෙත් මුදල් අච්චු ගසා මාර්ග ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කටයුතු කළානම් ඒ සියල්ල නරක තීරණය. 2020 වසරේ රුපියල් බිලියන 550ක් පමණ අච්චු ගසා තිබේ. 2021 දි අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන 1200කට වැඩිය. ගිය වසරේ අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන 3000ක් පමණ වන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණි.
රටේ ආදායම රුපියල් බිලියන 1400ක් පමණ වෙද්දී ඒ හා සමානව දෙගුණ කර නැවැත්විය නොහැක. සිදුවූයේ එයයි. ඩොලරයේ අගය මෙසේ වැඩිවීම යනු උද්ධමනය ද මිල මට්ටම් ඉහළයාම අනිවාර්යයෙන් වැඩිවනු ඇත.
ආනයනික සියලුම භාණ්ඩ මිල මේ හේතුවෙන් වැඩිවී තිබේ. ඒ හේතුවෙන් ලංකාවේ මේ වනවිට ඇත්තේ තීව්‍ර උද්ධමනයකි. මහ බැංකුවේ දත්ත අනුව දැනට සියයට 29ක පමණ උද්ධමනයක් තිබේ. ආහාර උද්ධමනය සියයට 47ක් පමණය. එහෙත් ජාත්‍යන්තරය පෙන්නා දෙන ආකාරයට ගෙවුණු මාසයේ මෙරට උද්ධමනය සියයට 132කි. එය ලෝකයේ දෙවැනියට ඉහළම උද්ධමන අගයයි. අප සිටින තැන කොතැනදැයි මෙයින් පැහැදිලිය. ආණ්ඩුව මුලින්ම කළ යුත්තේ මේ උද්ධමනය පාලනය කිරීමය. පොලී අනුපාත වැඩි කිරීම ආදී සාධනීය කඩිනම් තීරණ කීපයක් ගන්නා ආකාරය පසුගිය දිනවල පෙනෙන්නට තිබුණි.
බලාපොරොත්තු වූ තරමට ලොකු ප්‍රතිඵලයක් මෙමගින් ලැබුණේ නැත. තවදුරටත් පොලී අනුපාත සහ මූල්‍ය ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමෙන් උද්ධමනය පාලනය කර ගතහොත් අනෙක් කරුණු ද පාලනය කර ගැනීමට පුළුවන. යුක්රේන - රුසියා ගැටුමද අපට සෑහෙන්න බලපෑමක් කර තිබේ. ලෝක තෙල්, කිරිපිටි මිල සියයට 67කින් සියයට 70කින් පමණ වැඩිවී තිබේ. මේවායේ බලපෑමෙන් අපට මිදිය නොහැක. ඔහුගේ පුරෝකථන අනුව ලබන අගෝස්තු වන විට යුක්රේන - රුසියා යුද්ධය නතර වන්නට පුළුවන. එසේ වුවොත් ලෝක වෙළෙඳපොළේ මිල මට්ටම සමනයකට පත්විය හැකිය. රට තුළ ආර්ථික අර්බුදය විසඳීමට දේශපාලන ස්ථාවරත්වය ඉක්මනින් ඇතිකර ගැනීම අවශ්‍යය. දැනට විදේශ රටවලින් අගමැතිවරයාට ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබේ. ඒ හරහා අවම වශයෙන් මේ අවස්ථාවේ ඩොලර් බිලියන 5ක් උපයා ගත හැකි නම් මේ රටේ ආර්ථික අර්බුදය සමනය කළ හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ඉල්ලා තිබේ. ජපානය සහ අනෙකුත් මිත්‍ර රටවලින් ඉතිරිය ණය මුදලක් හැටියට තාවකාලිකව හෝ ලබාගත හැකි නම් දැනට ඇති පෝලිම් නැති කිරිමට පුළුවන. ඒ ඔස්සේ මෙරට ආර්ථික අර්බුදය සමනය කිරිමේ හැකියාව තිබේ. මේ සියල්ල තීරණය වන්නේ ආණ්ඩුව දේශපාලන අර්බුදය විසඳා ගන්නා ආකාරය අනුවය. අර්බුදයෙන් මිදීමට මේ ගන්නේ කෙටිකාලීන පියවරකි. ඉන්පසු රට ඉදිරියට ගෙන යාමට නම් මධ්‍ය කාලීන, දිගුකාලීන ආර්ථික සැලැස්මක් සකස් කළ යුතුය. එසේ නොවුණහොත් තවත් වසර කීපයකින් මෙවැනිම අර්බුදයකට තල්ලු වනු ඇත.
(සටහන - චමින්ද මුණසිංහ -ලංකාදීප)
0 Comments