කොල්ලුපිටිය මයිනා ගෝ ගම’ සහ ගාලුමුවදාර 'ගෝඨාගෝ ගම’ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ තිබූ උසස් පොලිස් නිලධාරින්ගේ ගමන් සටහන් පොතේ (ඕ.වී.පී.) කලින් යොදා තිබූ සටහනක් සහිත පිටු කඩා ඉවත්කර වෙනත් සටහන් කොළ ඇතුළත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන අංශය ( එස්.අයි.යූ) පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතී බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ විශේෂ නියෝගයක් අනුව ඊයේ (26) මෙම පරික්ෂණ ආරම්භ කරන ලදැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන අරගල භූමියට පෙළපාලියකින් පිරිසක් පැමිණෙන බවත් එය සාම පෙළපාලියක් නිසා එයට කඳුළු ගෑස් හෝ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙසටත් මෙම ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා ඕ.වී.පී. පොතේ සටහනක් යොදා තිබී ඇති බව විශේෂ කටයුතු පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. සාමකාමී ලෙස පැමිණෙන බව පැවැසූ පෙළපාලියේ පිරිස් සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියෙන් පසු ඕ.වී.පී. සටහන් පොතේ කලින් යොදා තිබූ සටමන සහිත කොළ ඉවත්කර වෙනත් සටහන් යොදා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සටහන් පොත (ඕ.වී.පී) රහස් පොලිස් භාරයට ලබාදෙන ලෙස ඉල්ලා තිබු අතර එම ඉල්ලීමෙන් දින 04 කට පමණ පසු පොත රහස් පොලිසියට බාරදී ඇති බවද එම පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.රහස් පොලිස් භාරයට ගත් එම සටහන් පොත පරික්ෂා කර බැලීමේදී ඇතිවූ බලවත් සැකයක් මත ඒ බව රහස් පොලිස් නිලධාරින් පොලිස්පතිවරයාගේ අවධානයට යොමුකර තිබෙන බව පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට පොලිස් විශේෂ විමර්ශන අංශයට බාරදෙනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියමයෙනි. සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට ඉහළ නිලධාරින් පමණක් සටහන් යෙදීමට ඇති ඕ.වී.පී. සටහන් පොතේ සටහන් වෙනස් කිරිම පොලිස් විනය සංග්‍රහයට අනුව තදබල විනය විරෝධී ක්‍රියාවක් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පවසති.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය- ලංකාදීප-
0 Comments