මේ වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට රට තුළ දේශීයව නිෂ්පාදනය කරන සහල්වල විශාල හිඟයක් ඇති වන බවත්, එම කාලවකවානුවේ සිට 2023 වසරේ මාර්තු දක්වා විදේශවලින් ගෙන්වන සහල්වලින් ජීවත්වීමට මෙරට ජනතාවට සිදුවන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සදහන් කරයි. මාස් කන්නයේ අස්වැන්න 50%කින් පමණ අඩු වූ බවත්, යල කන්නය ආරම්භ කිරීම ප්‍රමාද වීම හා පවතින පොහොර අර්බුදය නිසා යල කන්නයේ අස්වැන්නත් 50%කින් පමණ අඩු විය හැකි බවට දැනටමත් ගණන් බලා තිබෙන බවත් එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.
වසරක කාලයකට රටට අවශ්‍ය සහල් සකස් කර ගැනීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 40ක් අවශ්‍ය බවත්, මාස් කන්නයේදී සාමාන්‍යයෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 30ක් ලැබෙන බවත් පවසා සිටි ඒ මහතා, මෙවර මාස් කන්නයේ ලැබී තිබෙන්නේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 15කට අඩු ප්‍රමාණයක් බවත්, යල කන්නයේදී වී මෙට්‍රික්ටොන් ලක්ෂ 15ක් ලැබෙන නමුත් මෙවර ලැබීමට නියමිතව තිබෙන්නේ, මෙට්‍රික්ටොන් ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක් බවත් පවසා සිටියේය. මේ අනුව මේ වසරේ මාර්තු මස සිට ලබන මාර්තු දක්වා රටට අවශ්‍ය සහල් සකස් කර ගැනීමට තවත් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 18ක ප්‍රමාණයක් හිඟව පවතින බවත්, අදාළ හිඟය මගහරවා ගැනීමට රටින් සහල් ගෙන්වීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
දෛනික සහල් අවශ්‍යතාවෙන් 60%ක ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් ලබාදෙන බවත්, මේ වනවිට වෙළෙඳ පොළට වී අස්වැන්න පැමිණීම සීමා සහිතව සිදුවීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් දෛනිකව.ලබා දෙන්නේ 10%ක පමණ ප්‍රමාණයක් බවත් ඒ මහතා පවසා සිටියේය.ජුනි මාසය අවසන් වනවිට වී ලැබීම් අවසන් වන නිසා කුඩා හා මධ්‍ය පරීමාණ මෝල්හිමියන් ලබාදෙන කොටස නැවතී යන බවත්, මේ නිසා ජූලි මාසයේ සිට දෙනික සහල් අවශ්‍යතාවෙන් 60%කට වැඩි කොටසක් විදේශවලින් ගෙන්වන සහල්වලින් සම්පුර්ණ කිරීමට සිදුවන බවත් සභාපතිවරයා පැවසීය.
වෙළෙඳ පොළට වී පැමිණීම සීමා සහිතව සිදුවීම නිසා මහා පරිමාණ මෝල් හිමියන් දෛනිකව නිකුත් කරන සහල් ප්‍රමාණයත් අඩු වී තිබෙන බවත්, යල කන්නයේ අස්වැන්න නෙළීමත් සමග අගෝස්තු, සැප්තැම්බර් යන මාසවල යම් වී අස්වන්නක් ලැබුණද, ඉන් පසුව ලබන මාර්තුවල මාස් කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් වී අස්වැන්නක් නොලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments