ඉදිරියේදී ඇති වන සහල් හිඟය මගහරවා ගැනීම සඳහා අල, බතල, මඤ්ඤොක්කා වගා කිරීමේ අරගල මේ මස 29 වැනිදා සිට ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි. අල හා බතල වගා කිරීම් තුළින් මාස හතරක් තුළ ඵලදාව ලබාගත හැකි බවත්, මඤ්ඤොක්කා වගා කිරීම තුළින් මාස 06කදී ඵලදාව ලබාගත හැකි අතර, මෙම වගා ආරම්භ කිරීමට විශාල මුදලක් වැය නොවන බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
එසේම වී වගා කිරීමට නොහැකි භූමිවල හා කිසිදු වගාවක් සිදුනොකරන ගොඩ ඉඩම් මූලික කර ගනිමින් මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත්, වී වගා කටයුතු කළ හැකි භූමි තුළ වී වගා කරන ලෙස ගොවිජනතාව දැනුවත් කිරීම අඛණ්ඩව සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම වැඩපිළිවෙළ සිදුකිරීමට අදාළ යෝජනා මේ වනවිට මහනායක හිමිවරුන්ට පිළිගන්වා තිබෙන බවත්, ඉදිරි දිනකදී කෘෂිකර්ම අමාත්‍යවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යවරයාටත් මෙම යෝජනාවලිය භාරදෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා හරහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් සහයෝගය මෙම වැඩපිළිවෙළට ලබා ගැනීමට කටයුතු කරන බවත්,
කෘෂිකර්ම අමාත්‍යවරයා හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ලබාගන්නා බවත් ඒ මහතා පවසා සිටියේය.එමෙන්ම බත් සමග අල, බතල, මඤ්ඤොක්කා වැනි ද්‍රව්‍ය ආහාරයට ගැනීම තුළින් කුසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබීමට අමතරව අවශ්‍ය පෝෂණයත් ලබාගත හැකි බවත්,
ආණ්ඩුවට ඉදිරියේදී ඇති විය හැකි සාගත තත්ත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා තම සංගමය මැදිහත් වී.මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මේ අනුව මේ මස 29 වැනිදා බස්නාහිර පළාතේ ඉඩම්වල අල, බතල, මඤ්ඤොක්කා වගා කිරීමේ කටයුතු ආරම්භ කරන බවත්, ජනතාවටත් තමන් සතුව යම් භූමි ප්‍රමාණයක් තිබේ. නම් අදාළ වගා කටයුතු ආරම්භ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments