amaraweera-chemical-fertilizer

ලංකාවට රසායනික පොහොර ලබා දීමට කිසිදු රටක් මෙතෙක් එකඟ වී නැතැයි ද එහෙයින් ආහාර ගෙන ඒමට හැකි නිශ්චිත දිනයක් කිව නොහැකි යැයි ද කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අඟුණකොළපෑලැස්සේ දී පෙරේදා (28) පැවසීය.  රාසයනික පොහොර ගෙන ඒම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා සමඟ සඳහන් කළ බව කී අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික අංශය පොහොර ප්‍රමාණයක් ගෙනැවිත් තිබෙන බවත් ඒවායින් යම් ප්‍රමාණයක් මිල දී ගෙන ගොවීන්ට ලබා දෙන්නට පුළුවන් දැයි සොයා බලන බවත් කීවේය.

රජය පොරොන්දු වූ පරිදි ගොවීන්ට වගා හානි දීමට ක්‍රමයක් නැතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව රුපියල් සියයක්වත් නැති අතර සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට, රත්නපුර, මොනරාගල ගොවි නියෝජිතයන් සමඟ අගුණකොළපැලැස්සෙදී පෙරේදා පැවැති සාකච්ඡාවකදීය.  දැන් ලොව කිසිදු රටක් වගාවලට අවශ්‍ය රාසයනික පොහොර අපනයනය කරන්නට සූදානමක් නැති බව ද ඔහු සඳහන් කළේය. යල කන්නයට පොහොර ලබාදීමට කොහෙත්ම හැකියාවක් නැතැයි ද පොහොර ලැබුණත් දෙන්නට වනේ මහ කන්නයට යැයි ද අමාත්‍යවරයා කීය.

ඉදිරි මාස තුන ඉතා දරුණු කාලයක් වනු ඇතැයි ද පවතින සහල් හිඟය සමඟ මෙරටට අඩුම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටහමාරක්වත් රටින් ගෙන්වන්නට සිදුවන්නේ යැයි ද ඔහු පැවැසීය. එහෙත් ඊට මුදල් කොහිදැයි ඇමැතිවරයා ප්‍රශ්න කළේය. එබැවින් ඇතිවිය හැකි අර්බුදයට මුහුණදීම සඳහා මඤ්ඤොක්කා දණ්ඩක් බතල වැලක් හෝ සිටුවීමට පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීවේය.
(යොහාන් බාසුර - ලංකාදීප)