atalugama-ayisha-death-update

බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි  ෆාතිමා අයිෂා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතී. කොත්තු හදන්නකු බව කියන ඔහු  ඊයේ (30) උදේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.



අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු වෘත්තියෙන් කොත්තු බාස් කෙනෙකි. දරුවන් තිදෙනකුගේ පියෙකි. සැකකරුගේ බිරිඳ මේ වනවිට ගැබිනියක බවත් සඳහන් වේ. ඝාතනයට ලක්වූ දැරිය ඉකුත් 27 වැනිදා පෙරවරුවේ ප්‍රදේශයේ කුකුළුමස් වෙළෙඳ සලකට ගොස් සිටිය දී සැකකරු ද අයිස් මත්ද්‍රව්‍ය පානය කර දැරිය සිටි වෙළෙඳසලේ සිට ඇති බවත් දැරිය එදින ඇඳගෙන ආ ඇඳුම හා රුව දැක ඇය කෙරෙහි වෙනදා නොදැනුණ ආසාවක් පැනනැගුණ බවත් සැකකරු පවසා තිබේ.

දැරියට පෙර සැකකරු වෙළෙඳ සැලෙන් පිටවී ලඳු කැලෑවක් අසල මග රැක සිට ඇති බවත් පවසා තිබේ.
මග රැක සිටි ඔහු දැරිය තම නිවස පිහිටි පාර වෙත යොමු වන්නට පෙර  ඇගේ අතින් ඇද ඇති අතර ඥාතියෙකුවූ ඔහු මෙසේ අඩගහන්නේ කවර කාරණාවකටදැයි දැරියට වැටහී නැතැයි පැවසේ. ඇය තමාට ඉක්මණට නිවසට යන්න ඕනෑ බව පවසමින් ඔහුගේ ග්‍රහනයෙන් මිදෙන්නට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ සැකකරු ඇයව ඔසවාගෙන දිවගොස් තිබේ.


එලෙස ඇය රැගෙන අසල තිබු කැලයට ඇය ඇදගෙන ගොස් දැරියගේ ශරීර ස්පර්ශ කර ඇති අවස්ථාවේ ඇය සැකකරුගේ ග්‍රහණයෙන් මිදීමට බෙල්ල හා මුහුණ සූරමින් උත්සාහ දරා විලාප නගා ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළිව ඇති අතර පසුව ඔහු දැරියට අතවර කිරීමට පැවති උත්සාහය අතහැර තිබෙයි.
කෙසේ වෙතත් ඔහු පවසා ඇත්තේ තමා හොඳින් දන්නා ඥාතියෙකු වූ නිසා ඇය ග්‍රහණයෙන් මුදාහැරියේ නම් තමාට වසමේ වාසය කරන්නට බැරි තත්වයක් උදාවිය හැකි බැවින් ඇය මරාදමන්නට තීරණය කළ බවයි.

දැරියගේ මුව තුළට රෙදි කැබැල්ලක් ඔබා තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් අසල තිබු මඩ වගුරකට තල්ලු කර ප්‍රාණය නිරුද්ධ වනතුරු එහි ගිල්වා තැබීමට කුරිරු ලෙස ඔහු කටයුතු කළේය.
 දැරියගේ පිටට සිය දණහිස තබාගෙන තද කරගෙන සිට ඇති බවට ද තොරතුරු හෙළි වූ බව පොලිසිය පැවසීය.

මෙම සැකකරු දැරිය කුකුළු මස් කඩයෙන් පිටවීමට පෙර එයින් පිටව ගිය අයුරු සිසීටීවී පරීක්ෂාවේදී හෙළිවන අතර
 ඇය නිවෙසට ගමන් ගන්නා මාර්ගයේ රැඳී සිටි බවට ප්‍රදේශවාසීන් ලබාදුන් සාක්ෂිද ඔහු අල්ලාගන්නට උදව් විය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් බණ්ඩාර මහතා ඊයේ (30) පස්වරුවේ නියෝග කළේය.

බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි පුද්ගලයකු මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙනු ලැබීය. සැකකරු විශේෂ ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබීය. නඩුව අද (31) යළිත් කැඳවීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා