ජනපතිවරයාගේ බලතල අවම කිරීම හා විදෙස් පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට අදාළ 21 වන සංශෝධන යෝජනාවලිය සම්මත කරනවාද නැද්ද යන්න ගැන ආණ්ඩුවේ ඇතුළේ මත දෙකක් ඇති බව ඊයේ (30) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කන්ඩායම් රැස්වීමේදී පැහැදිලි ලෙස හඳුනාගන්නට ලැබී තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මේ අවස්ථාවේ රට හැදීමට මිස 21 ක් ගෙනඒමට අවශ්‍ය නැති බව කියමින් මත පළවූ අතර තවත් කොටසක් ඊට විරුද්ධවී ඇත.
19 වන සංශෝධනයේ අඩුපාඩු ඇති බව කියමින් 20 මේ ආණ්ඩුව ගෙන ආවේ ජනපති බලතල වර්ධනය කරන්නට හා විදෙස් පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්නට මග පාදමින්ය. නමුත් අරගලයේ තරුණ හඩ නැවත නැවත කියා සිටියේ අසීමිත බලතල සහිත පාලකයකු වටා බලය ගොනුවූ මෙම ක්‍රමය නිසා රට තවදුරටත් ප්‍රපාතයට යන බවයි.
තනි කෙනෙකුට අවශ්‍ය ලෙස හමුදා පාලනයක්, තනි කෙනෙකුට අවශ්‍ය ලෙස කාබනික පොහොර වගාවක්, වසංගතයේ දැඩි ප්‍රතිපත්ති මත රට නොවැසූ සෞඛ්‍ය සේවයක් වැනි අහිතකර ලක්ෂණ ගණනාවක් මෙම බලතල නිසා රට අත්විඳි අතර මේ අසීමිත බලතල වලට අභියෝග කරන්නට හෝ ඒවා විවේචනයට හැකි පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බවට මේ නිසා සාකච්ඡාවක් මතුවිය.
21 වන සංශෝධනයක් ගැන කතාව කරළියට ආවේ මේ පසුබිමේය.
නමුත් රටේ අවශ්‍යතාවට වඩා පුද්ගලික අභිමානය හෝ බලකාමය මුල් කරගෙන මෙම වෙනස්කම්වලට පවා අකුළ් හෙළන පිරිසක් දැන් නිර්මාණයවී ඇත.
ඇමරිකානු පුරවැසි මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මේ වනවිට කැබිනට්ටුවෙන් ඉවත් කර ඇති මුත් ඔහුට තවදුරටත් මන්ත්‍රී ධූරයේ එල්ලී සිටිමින් රට ගොඩනගන්නට විශාල උනන්දුවක් පැවතීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.
ඔහු සමග සමීප ගනුදෙනු පවත්වා යන බව කියන කණ්ඩායමක් ඊයේ ආන්ඩු පක්ෂ රැස්වීමේදී ඔහු වෙනුවෙන් 21 එපා කියමින් අරගල කර තිබේ.
ඒ අය අතර සාගර කාරියවසම්, ඩයනා ගමගේ,දිලුම් අමුනුගම,සරත් වීරසේකර,විමලවීර දිසානායක,ප්‍රසන්න රණවීර හා චින්තක මායාදුන්න ආදීන් සිටි බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ, චරිත හේරත්, විජේදාස රාජපක්ෂ හා හරින් ප්‍රනාන්දු වැනි අය 21 ට පක්ෂව වාද කර තිබේ. ජනපති ගෝඨාභය මධ්‍යස්ථව සිටි බවද පැවසේ.
ලබන බ්‍රහස්පතින්දා වනවිට මේ සම්බන්ධ අවසන් තීරණ දැනුම් දීමට නියමිතව ඇති අතර ඊයේ ඇතිවූ මෙම සංවාද මගින් පෙන්නුම් කළේ රටේ මෙතරම් ප්‍රශ්න තිබියදී එක්තරා පටු අරමුණු සහිත කොටසක් පුද්ගල ස්වාර්ථය වෙනුවෙන් පමණක් තවමත් අපමණ වෙහෙසක් ගෙන වැඩකරන ආකාරයයි.
0 Comments