fathima-aysha-atalugama-update

අටලුගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ නව හැවිරිදි ෆාතිමා අයිෂා පාසල් සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට සැක සහිත එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


කීර කොටුවක සිටි මෙම පුද්ගලයා මින් ඉහත ලිංගික අතවර චෝදනා ලදුවෙකු වන අතර ඔහු දැරිය ගමන් ගත් මාර්ගයේ මුල්ලුවක්ද අතින් ගෙන ඇය පසුපසින් යන ආකාරය සීසීටීවී දර්ශන වලින් හදුනාගන්නට හැකිවී තිබේ. දැරිය හමුවූයේ ඔහුගේ නිවසට ඉතාම ආසන්න වගුරු බිමකිනි. නිවස පරීක්ෂාවේදී දැරිය හමුවූ අධික මඩ සහිත ස්ථානයේ සිටියදී පරිහරණය කරන්නට ඇතැයි සැලකෙන මඩ තැවරුණ සරමක්ද ඔහුගේ ඇද යටින් හමුව තිබේ. ඊට අමතරව පොලිසිය ඔහුගේ ශරීරය පරීක්ෂාවට ලක් කර තිබෙන අතර ඔහුගේ රහස් ප්‍රදේශයේ හා තැන් කීපයක සීරුම් තුවාල නිරීක්ෂණය වූ බවද ඒවා ඇතිවූ අයුරු ඔහුට පැහැදිලි කරන්නට බැරිව ගිය බවද පොලිසිය වාර්තා කර තිබේ.


මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකු වන බවත් මින් ඉහත මවක හා දියණියක සිටින නිවසකට රාත්‍රී කාලයේ ඇතුළුවී ලිංගික අතවරයක් කරන්නට උත්සාහ දැරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූවකු බවද පොලිසිය කියයි.
මෙම පුද්ගලයා සිටි කීරකොටුවට යාබද ඉඩමේ මඩ යට සගවා තිබියදී සිසුවියගේ සිරුර සොයාගැනීමට පොලිසිය සමත් වූයේ දැරිය සොයන්නට ගම්මුන් කැලෑ පීරමින් මෙහෙයුමක් සිදු කරන අතර මඩේ තිබී මඩෙන් එළියට ආ දැරියකගේ පාදයක කොටසක් දැකීම නිසාය. දැරියගේ සිරුර අධික මඩ සහිත ස්ථානයක මුළුමණින් ඔබා ඝාතනය සගවන්නට උත්සාහ කර තිබූ බව ඒ අනුව පෙනී යයි. එම ස්ථානයට පොලිසිය ගමන් කර දැරිය පරීක්ෂා කර ඇත්තේ තාවකාලික පාලමක්ද ඇටවීමෙන් පසුවය.
දැරිය හමුවීමෙන් පසු එම ස්ථානය වැඩිදුර විමර්ශනයේදී ඊට මීටර 300 ක පමණ දුරින් පිහිටි ඇළක් ආසන්නයේ දැරියගේ සෙරෙප්පු දෙක හමුවී තිබෙන අතර පොලිසිය සැකකළේ ඇයට හිරිහැරයක් සිදුකරන්නට ඇත්තේ එම ස්ථානයේදී වියහැකි බවය.
බණ්ඩාරගම, අටුළුගම, අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය පෙරේදා පෙරවරු 10ට පමණ නිවසට මීටර 250ක පමණ දුරින් පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් අතුරුදන් බවට දෙමපියන් පොලිසියට පැමිණිලි කර තිබුණි. දැරිය වෙළෙඳසැලට ගොස් පිටතට පැමිණෙන ආකාරය සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබු අතර පොලිසිය දැරියගේ මව, පියා, ඥාතීන් ඇතුලු පුද්ගලයින් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. මෙම දැරිය එම පවුලේ 3 වන දරුවා බවද පැවසිණි.


පානදුර ප්‍රදේශයේ දැරියගේ ඥාතියෙකු ගැනත් දැරියගේ පියා ගැනත් දීර්ඝ අධ්‍යයනයක් කර තිබූ අතර පියාව සැක කළේ ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ අයෙකුවීම නිසාය. දැරිය කුකුළු මස් මිලට ගන්නට කඩයට යැව්වේ ඇයිද යන්නත් පියාට ඒවා රැගෙන එන්න බැරි ඇයිද යන්නත් පොලිසිය විමසා සිටි විට දැරියගේ මව කියා ඇත්තේ පියා ඒ අවස්ථාවේත් මත්ද්‍රව්‍ය ලබාගන්නට පිටතට ගොස් සිටි බවකි. මේ අතර පානදුර ප්‍රදේශයේ දැරියගේ ඥාති පිරිමි පුද්ගලයෙකු ගැනද පොලිසියට සැකයක් මතුවූ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඊයේ ඇරඹුවත් තවම සිද්ධිය ගැන හෝඩුවාවක් ඔහුගෙන් ලැබී නොතිබිණි.
දැරියගේ අතුරුදන්වීම අවස්ථාවෙහි ඇය පිටකොටුවේ කාන්තාවක සමග සිටි බවට ලැබුණ ඡායාරූපයක් ඔස්සේ විමර්ශන ඇරඹුවත් එයින් වැදගත් යමක් හමු නොවූ බව පොලිසිය කියයි. දැරිය සම්බන්ධ පොලිස් සුනඛ පරීක්ෂාවේදී දැරිය කඩේ ගිය මංපෙත මිස ඉන් පසු දෙයක් සුනඛයා සොයානොගත් අතර ඇය කඩයෙහි සිට එලියට එන අයුරු සීසීටීවී පරීක්ෂාවෙන් හදුනාගත් නමුත් සුනඛයා එම මංපෙත නිරීක්ෂණය කර නොතිබුණි. කඩය අසළ නවතා තිබූ වෑන් රථයක් ගැනද පොලිසිය පරීක්ෂා කළත් වැන් හිමිකරු ඊට කිසිදු සම්බන්ධයක් නැති අයෙකු බව පසුව හෙළි විය.
ජනපතිවරයාගේද අවධානය යොමුවූ ෆාතිමා අයිෂා දැරියගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් ලෙස සිදු කරමින් පවතී.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා