mahinda-dulas-prime-minister

ඇතිව තිබෙන අර්බුදකාරී දේශපාලන තත්වයේ එක් පියවරක් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි දේශපාලන ආරංචි තහවුරු කර තිබේ. 

ඒ අනුව පාර්ලිමේන්තුවේදී හෙට (04) ප්‍රකාශයක් සිදු කර මහින්ද අගමැති ධූරයෙන් සමුගන්නා බව වාර්තාවේ.
නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද
ඒ සඳහා ස්වාධීනවූ මන්ත්‍රී කණ්ඩායමේ අය එක්වනු ඇතැයිද වාර්තා වෙයි.


 ජාතික එකගතා ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
නව රජය යටතේ අග්‍රාමාත්‍ය ධූරය හිමිවන්නට බොහෝ දුරට අවකාශ පවතින්නේ ඩලස් අලහප්පෙරුමටය.
ඇමති මණ්ඩලය 10 දෙනෙකුට පමණක් සීමා කරන්නට යෝජනාවී ඇති අතර පසුගිය දිනවල කඩින් කඩ පත් කළ ඇමති ධූර පත්වීම් ඒ අනුව යළි කුණු කූඩයට යැවෙනු ඇත.
කෙසේ වෙතත් මෙම රජය සඳහා සජබ , ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ කිසිවක් සම්බන්ධ වන්නේ නැත.


මෙම නව රජයේ ජනපති ධූරය ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් හොබවන අතර වෙනස්වන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හා ඇමතිවරුන් පමණි. අරගලය ආරම්භයේදී ස්වාධීනවූ පිරිසක් ස්වාධීන බව අතහැර පැවති ආණ්ඩුවට එක්කාසුවී පුටු මාරුවක් සිදු කරගන්නා සෙයක් දක්නට තිබේ.
‘ගෝටා ගෝ හෝම්‘ යනුවෙන් අඛන්ඩව සිද්ධවන විරෝධතාවයට මෙමගින් පිළිතුරක් සපයා නැති අතර මේ නිසා අරගලය නවතීවිද යන්න සැකසහිතය.
ලබන 6 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් නැවතත් වෘත්තීය සමිති කැඳවා ඇති අතර ජනපති ඉවත්වනතුරු අරගලය නොනවතිනු ඇතැයි දේශපාලන නීරීක්ෂකයන් පෙන්වාදී ඇත.