mahinda-johnston-arrest-request

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතාවලට බීමතින් කඩා වැදී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් එහි සිටි පිරිසට පහර දී හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අපරාධ නීතියට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් නිතීඥවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට ඊයේ (10) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.



සමගි නිතීඥ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදී නිතීඥ එකමුතුවේ නිතීඥ කමල් විජේසිරි, නිතීඥ තුසිත ගුණසේකර, නිතීඥ රජිත ලක්මාල් සහ නිතීඥ නිශාන්ති වෙත්තසිංහ ඇතුළු නිතීඥ පිරිසක් පොලිස් මූලස්ථානයට ඊයේ (10) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් සඳහා පිට පළාත්වල 3,000ක පමණ ජනතාවක් බස් රථවලින් කොළඹට ගෙන්වා අග්‍රාමාත්‍යවරයාගේ දේශනයෙන් පසුව මසකට වැඩි කාලයක්  "මයිනා ගෝ ගම” සහ “ගෝඨා ගෝ ගම" යන ස්ථානවලට විරෝධතාවේ යෙදුණු සාමකාමී විරෝධතාකරුවන්ට පහර දී සාපරාධී බියගැන්වීමට කුමන්ත්‍රණය කර අධාර අනුලබල දීමේ චෝදනාව යටතේ මෙම අයවලුන් වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම අපරාධය කුමන්ත්‍රණය කිරීමට චේතනාන්විතව අනුබල දීමේ චෝදනාව යටතේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ට න් ප්‍රනාන්දු,

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු සිද්ධියට අදාළ සියලුම පාර්ශ්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද එම පැමිණිල්ලේ දක්වා තිබේ.  මෙම අපරාධය වන තුරු බලා සිට එය වැළැක්වීමට නීත්‍යනුකූලව කටයුතු නොකරමින් සිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාත්, මෙම සිද්ධියට අදාළව රැඳවියන් කලහකාරී සහ අපරාධමය  වැරැදිවලට යොමුකිරීමට අදාළ  බන්ධනාගාර කොමසාරිස්  ජනරාල් තුෂාර උපුල්දෙණිය යන අයට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ පරික්ෂණයක් සිදුකර ඔවුන් සියලුදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිතීඥවරුන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

 නිමන්ති රණසිංහ