malwathu-thera-inaction

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබානොදීමට තීරණය කර තිබේ.





තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් ලියවිල්ලක් ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා මහා නා හිමියන් ඉදිරිපත් කළ නමුත් එම ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැතිවීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්වේ.


අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් කැබිනට් මණ්ඩලය ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කර සියලු දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බව මහා සංඝරත්නය මින් ඉහත දැනුම්දුන් අතර පසුගිය සෙනසුරාදා(30) කොළඹ නිදහස් චතුරස්‍රයේදී සංඝ සම්මේලනයක් පවත්වමින් මහා සංඝරත්නය මේ බව අවධාරණය කර තිබුණි.



අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් කැබිනට් මණ්ඩලය ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට සංඝ සම්මුතියක් නිකුත් කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය ඊයේ (1) කොළඹ බෞද්ධ මහා සම්මේලනයට වැඩම කර තිබුණි.

අනතුරුව ස්වාමීන් වහන්සේලා පාගමනින් නිදහස් චතුරස්‍රය දක්වා වැඩම කර එහිදී සංඝ සම්මේලනයක් පවත්වනු ලැබීය.
මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් හා ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මේ වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කරන අතර අගමැතිවරයා හමුවී සිදුකල සාකච්ඡාද ඵල රහිතවීම නිසා සංඝ ආඥාව සම්බන්ධ යළි කතා කර තිබුණි.
මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ව  කැඳවා සාකච්ඡා කිරීමට ත්රෛනිකායික මහනායක හිමිවරු තීරණය කර ඇති බවද වාර්තා විය.