nandalal-warns-future

ඉදිරි මාස 06 තුළ කිසිවෙකුටවත් උද්ධමනය 30%ට 40%ට වඩා පහළට ගෙන ආ නොහැකි බවත්, ඉතිහාසයේ අප මෙතෙක් අත්දුටු ඕනෑම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළකළේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ, පුවත්පත් සමාජය විසින් සංවිධානය කළ සංසදයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා,
"ඉදිරි මාස 3-6 ඇතුළත මෙරට සිදුවනු ඇත්තේ සීමිත ආර්ථික ක්‍රියාකාරකම් කිහිපයක් පමණයි. එනම් ආර්ථිකය හැකිළෙනවා.

මේ වසරේදී ඉතිහාසයේ අපි මෙතෙක් අත්දුටු ඕනම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව අපේ අපේක්ෂාවයි. ඉදිරි මාස 06 තුළ කාටවත් උද්ධමනය 30% - 40%ට වඩා පහළට ගෙන එන්න බැහැ, දුප්පත් හා අවදානම් කාණ්ඩයේ ජනතාවට දැඩි ලෙස
බලපාන ප්‍රශ්නය මෙයයි.  විශේෂයෙන්ම රජය සහයෝගයක් ලබා නොදුන්නොත්, අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවට ඔවුන්ගේ ආදායමින් ජීවත්වීම අපහසු වෙනවා. ඔබට දකින්නට ලැබේවි මෙරට දරිද්‍රතා මට්ටම් ඉහළ යනවා. වැඩිදෙනෙක් දරීද්‍රතා මට්ටමට වඩා පහළට වැටේවි. ආර්ථිකය හැකිළෙන අවස්ථාවක වැඩිදෙනෙකුට රැකියා අහිමිවන ආකාරය අපට
දකින්න ලැබේවි. ඒ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වන නිසයි.

ඒ වගේම, මේ මොහොතේ අපට ඉදිරී මාස තුන හෝ හය සඳහා සාමාන්‍ය ආනයන කිරීමට හැකියාවක් නැහැ. අමුද්‍රව්‍ය නොමැති බව කර්මාන්ත කියනවා. කෙසේ වෙතත්, එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමුඛතා පදනම මත සිදුකළ හැක්කේ අත්‍යවශය ආනයන පමණයි" යනුවෙන් පවසා සිටියේය.
ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස මුදල් ප්‍රතිපත්තිය වැඩිකර ඇති බව පැවසු මහ බකු අධිපතිවරයා, ඉදිරී මාස කිහිපය තුළ 30% - 40%ත් අතර අගයක පැවතිය
හැකි උද්ධමන මට්ටමට අනුව පොලී අනුපාත ඉහළ දැමීම අනවශය බවද සඳහන් කළේය.

(ෂමිල පෙරේරා-Ada)