විරෝධතා ව්‍යාපාර සහ උද්ඝෝෂණ වැළැක්වීම සඳහා කිසිදු අවස්ථාවක අධිකරණ නියෝග නිකුත් නොකරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පොලිසියට ඊයේ (26) දැනුම් දුන්නේය. මහජන විරෝධතා සහ සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය අධිකරණය පිළිගන්නා බවත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු දරුවන්ට මෙන්ම මහජනතාවට පීඩා වන අයුරින් උද්ඝෝෂකයන් හැසිරෙන්නේ නම් ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වැනි වගන්තිය ප්‍රකාරව නියෝග නිකුත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ වත්මන් කාර්යාලය හා නිවස පිහිටි කොළඹ මල්පාර සහ කේම්බ්‍රිජ් පෙදෙසේ රැස්ව සිටි පිරිසක් උඝෝෂණ පවත්වමින් මහජනතාවට මෙන්ම පාසල් සිසුන්ට අවහිර වන අයුරින් කටයුතු කරන බවත් එම විරෝධතාව නවතා දමන ලෙස ආඥාවක් නිකුත් කරන ලෙසත් කුරුඳුවත්ත පොලිසිය ඊයේ (26) අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම කරුණු ඉදිරිපත් කළේය. කුරුඳුවත්ත පොලිසිය සමග නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණ ගිරියාගම මෙනෙවිය ඇතුළු පිරිසක් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වගන්තිය ප්‍රකාරව මෙන්ම 98 වගන්තිය ප්‍රකාරව මෙම ආඥාව නිකුත් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළද නීතිඥ සංගම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මඩුල්ල සඳහන් කළේ අනාගතයේදී සිදුවිය හැකි යැයි අනුමාන කරමින් කරනු ලබන ඉල්ලීම්වලට අධිකරණයෙන් ඉඩ ලබා නොදෙන ලෙසය. දෙපාර්ශ්වයේම ඉල්ලීම් සැලකිල්ලට ගත් අධිකරණය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිය අධිකරණය පිළිගන්නා බැවින් විරෝධතා වැළැක්වීමට කිසිදු අවස්ථාවක නියෝග නිකුත් නොකරන බවත්, මහජන පීඩාවක් ඇතිවුවහොත් ඒ සඳහා පමණක් නියෝග නිකුත් කරන බවත්ය.
0 Comments