sarasaviya-subasetha-print-stopped

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් හා කඩදාසි හිඟයක් හා කඩදාසි මිල ඉහළයාම හේතුවෙන් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ගණනාවක් මුළුමණින් මුද්‍රණය නතර කරන්නට හෝ සතිපතා පළවූ පත්තර මාසිකව මුද්‍රණය කරන්නට තීරණය කර තිබේ.


ඒ අනුව දීර්ඝ කාලයක් පුරා අඛන්ඩව පළවූ ‘සරසවිය‘ හා ‘සුබසෙත‘ පත්තර දෙකම ලබන ජුනි 01 වනදා සිට මුද්‍රණය නතර වනු ඇත. සරසවිය පුවත්පත වසර 59 ක් තිස්සේ මුද්‍රණය වූවක් වන අතර සුබසෙත වසර 53 ක් තිස්සේ මුද්‍රණයවූ පුවත්පතකි.


ඊට අමතරව ආරෝග්‍යා, වන්නවානිවිල් (දමිළ), කුට්ටිමුට්ටි(දමිළ) පුවත්පත්ද ලේක්හවුස් ආයතනික තීරණය අනුව මුළුමනින් නතර කර ඇත.
මේ දක්වා සතිපතා පළවූ බුදුසරණ,තරුණි හා මිහිර පත්තර තුනම මින් ඉදිරියට මසකට වරක් පමණක් මුද්‍රණය කර පළ කරන්නට තීරණයවී ඇත. එම තීරණයද ලබන ජුනි මස සිට ක්‍රියාත්මක වන අතර බුදු සරණ පෝය දිනයේ පමණක් හා සෑම මසකම මුල් සතියේ බදාදා හා මිහිර සෑම මසකම මුල් සතියේ සඳුදා මුද්‍රණය වනු ඇත.


වාර්තාවන ආකාරයට කොරෝනා සමයේ දීර්ඝ ලෙස රට වසා දැමීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තයම විශාල කඩාවැටීමකට ලක්වූ අතර අලෙවිය ශීඝ්‍ර පසුබැසීමකට ලක්විය.විද්‍යුත් හා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාගැනීමට වැඩි පිරිසක් උනන්දුවීම නිසාද පසුබැසීමක් ඇතිවිය.