sashi-weerawansa-released-on-bail

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.


 
ශෂී වීරවංශ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සමඟ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළා. විත්තිකරුවන්ට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කළා.


 
පසුගිය සිකුරාදා (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් ඇයට නියම කළේය. ශෂී  මහත්මිය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇතුළු විදේශ ගමන් බලපත්‍ර දෙකක් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වේ.
 
මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරමින් ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබුණේ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහාය.


 
ඒ අනුව විත්තියේ නීතීඥවරයා අභියාචනයක් විභාග වන තෙක් ඇප මත මුදා හැරීමට ඉල්ලුම් කළ අතර වරදේ බරපතළකම සැලකිල්ලට ගෙන විත්තිකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයට දන්වා සිටියේය. නීතිපතිවරයා විසින් එම අයදුම්පත්‍රය සඳහා විරෝධතා ඉදිරිපත් නොකළ අතර එම අයදුම්පත සඳහා අභිමතය පරිදි බලය යොදන ලෙස අධිකරණයට ආරාධනා කළේය.
 
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.