ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙම වසරේ සිට වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ නරගාවලි සඳහා අදාළ වයස් සීමා වෙනස් කිරීමෙන් පාසල් ක්‍රීඩකයන් රැසකට දැඩි අසාධාරණයක් සිදුව නිබේ. පාසල් ක්‍රිකට් සංගමයේ මෙම අත්තනෝමතික තීන්දුව හේතුවෙන් යොවුන් ක්‍රීඩකයන් රැසක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම 2024 වසරේ පැවත්වෙන යොවුන් ලෝක කුසලානයට 17න් පහළ ක්‍රීඩකයන් 19න් පහළ ක්‍රීඩා කිරීමට සිදුවීමට ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩාවෙන් සමු ගැනීමේ තීරණයට හේතු වී ඇත. විශේෂයෙන් පාසල් ක්‍රිකට් සංගමය ඉහත කී වයස් සීමා ත්‍රිත්වය සඳහා මෙම වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා කඩඉම් දිනය ලෙස නම් කර තිබෙන අතර, මීට පෙර එම තරගාවලි ත්‍රිත්වයට අදාළව ක්‍රීඩකයන්ගේ වයස් සීමාව සලකා බැලුවේ ජනවාරි මස 01 වැනිදා කඩඉම් දිනය ලෙස සලකමිනි.කෙසේ වෙතත් මේ හේතුව නිසා 2024 වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට තෝරා ගැනීමට අදාළ තේරීම් තරගවලට, 17න් පහළ ක්‍රීඩකයන්ට 19න් පහළ ක්‍රීඩා කිරීමට සිදුවී ඇතැයි අනාවරණය වේ. එමෙන්ම මෙම තත්ත්වයට මුහුණ දීමට මෙරට වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන්ටද සිදුව ඇති බවත්,
ඒ හේතුවෙන් 15න් පහළ සහ 17න් පහළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් දැඩි කලකිරීමට පත්ව ක්‍රීඩාවෙන් ඉවත්ව ඇති බව පාසල් කිහිපයක්ම පැවසීය.මෙම සංශෝධනය හේතුවෙන් පසුගිය වසරේ 15න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට 17න් පහළ ක්‍රීඩා නොකරම මෙම වසරේදී 19න් පහළ ක්‍රීඩා කිරීමට සිදුවී ඇති බවත්, එය දැඩි අසාධාරණයක් බවත් ක්‍රීඩකයෝ සහ දෙමවුපියෝ චෝදනා කරති. මෙහි බරපතළම අසාධාරණය සිදුවනුයේ පසුගිය වසරේ 15න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ටයි. ඊට හේතුව වනුයේ ඔවුන්ට 17න් පහළ ක්‍රීඩා නොකරම මෙම වසරේ පැවැත්වෙන 19න් පහළ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවීමත්,
ඊට අමතරව 2024 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ තෝරා ගැනීම්වලට සෘජුව බලපෑමත් නිසාය. ඔවුහු තවදුරටත් චෝදනා කර සිටිනුයේ, වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන්ට තමාට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් සමග ලෝක කුසලානයේ ස්ථාන දිනාගැනීම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුවීම අසාධාරණයක් බවයි.මේ හේතුව නිසා පාසල් කිහිපයක්ම මෙම සංශෝධනය ලබන වසරේ සිට සිදුකරන ලෙස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙන් ඉල්ලීමක් කර තිබුණද, පාසල් ක්‍රිකට් සංගමය එය සලකා නොබලා ඔවුන්ගේ අත්තනෝමතික තීරණයේ එල්බ සිටීම මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් හිතකර නොවන බව ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. මේ අතර, මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා තිබුණේ පසුගිය මැයි මස 02වැනි සතිය දක්වා අදාළ වයස් කාණ්ඩවලට ලියාපදිංචි නොවුණු ක්‍රීඩකයන්ට ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා දී ඇති බවයි.එහෙත් මෙම තීරණයෙන් පාසල් රැසක වයස අවුරුදු 13න්, 15න්, 17න් පහළ කණ්ඩායම් රැසක් අර්බුදයකට ලක්ව ඇති අතර,
ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාව අතහැර දැමීම නිසා එම වයස් කාණ්ඩවලට අදාළව කණ්ඩායම් පවත්වාගෙන යාමද ගැටලුවක්ව තිබේ.
අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමක්ම කළ අතර, ඔහු පවසා සිටියේ වයස් සීමාව මෙම වසරේ සිට වෙනස් කළ බවත්, අදාළ වයස් කාණ්ඩවලට ලියාපදිංචි නොවුණු ක්‍රීඩකයන්ට ඊට ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා දුන් බවත්ය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් ක්‍රිකට් සංගමයේ ඉහළ නිලධාරියා,"අපි මෙම වසරේ වයස අවුරුදු 19න් පහළ, 15න් පහළ සහ 17න් පහළ තරගාවලි මෙම මාසයේදී පවත්වන්න සැලසුම් කරලා තිබෙනවා.මෙම වසරේ සිට වයස් සීමා වෙනස් කළ නිසා අලුතින් ක්‍රීඩකයන් හදාගන්න කියලා අපි පාසල්වලට දන්වලා තිබෙනවා. අපි වයස් සීමාව වෙනස්කළේ හැම පාරම අපිට පැමිණිලි එනවා වයස වැඩි ක්‍රීඩකයන් ක්‍රීඩා කළා කියලා. ඒ වගේම එය අනෙකුත් ක්‍රීඩකයන්ට අසාධාරණයක් බවත් චෝදනා කෙරුණා.
සමහර පාසල් ඉල්ලීමක් කර තිබුණා මේ අවුරුද්දේ මේ වෙනස්කම් නොකර, ලබන අවුරුද්දේවෙනස් කරන්න කියලා. ඉතින් ලබන අවුරුද්දේ කළත්, ම
ේ අවුරුද්දේ කළත් යම් කොටසකට වැඩි වයස් කාණ්ඩයක ක්‍රීඩා කරන්න වෙනවා. එනිසා පාසල් ක්‍රිකට් සංගමය විදිහට අපි තීරණය කළා මේක කල්දාන්නේ නැතුව මේ අවුරුද්දේ සිටම සංශෝධනය කරන්න. අපි දන්නවා මේ වන විට 15න් පහළ ක්‍රීඩා කරන ළමයි අඩුයි කියලා. අපි දැනුම් දීලා තියෙනවා අලුතින් ක්‍රීඩකයන් අරගෙන කණ්ඩායම් හදාගන්න කියලා" යනුවෙන් පවසා සිටියේය. දේශීය ක්‍රිකට් තලයට සහ ජාත්‍යන්තර ක්‍රිකට්වලට අංකුර ක්‍රීඩකයන් බිහිකරන මෙරට ප්‍රධානතම ධාරාව වනුයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවයි. එනිසා එහි අධීක්ෂකයා සහ භාරකරුවා වශයෙන් පාසල් ක්‍රිකට් සංගමය මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී පාසල් ක්‍රීඩකයන්ගේ පැත්තෙන් සිතා බැලිය යුතුය. පාසල් රැසක්ම මෙම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලීම් කර තිබුණද, පාසල් ක්‍රිකට් සංගමය එම ඉල්ලීම් නොසලකා හැර ඇත්තේ 'බීරි අලීන්ට වීණා වයනවා’ සේ නැසුණා ලෙස හිදිමිනි.
(පැතුම් ශ්‍රී විජේරත්න)
0 Comments