බාලවයස්කාර දැරියන් රවටා ඔවුන්ගේ ජීවිත වනසන පුද්ගලයන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත්, ඔවුන්ට උපරීම දඬුවම් නියම කරන බවත්, බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 45ක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැවසීය. මීට වසර 18කට ඉහතදී අපයෝජනයට ලක් වූ දැරියගේ නිවස අසල නිවසේ බෝඩිමේ පදිංචිව සිටි 45 හැවිරිදි දෙදරු පියෙකුට මෙලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා,
අපයෝජනයට ලක් වූ දැරියට රුපියල් ලක්ෂ 09ක වන්දියක් ගෙවීමටද නියම කළේය.වන්දි මුදල නොගෙවහොත් සිරදඩුවම් කාලය වසර 45ක් දක්වාම ක්රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා, වන්දි මුදල ගෙව්වහොත් සිරදඬුවම් කාලය වසර 15කින් ගෙවී යන අන්දමට ක්රියාත්මක කිරීමටද නියෝග කළේය.
2004 වර්ෂයේ සිට 2005 දක්වා කාලය තුළ බාලවයස්කාර දැරියක අවස්ථා ගණනාවකදීම අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී අඹ කඩාදීමට ගොස් දැරී සමග මිතුරු වී ඇති අසල්වාසි නිවසේ බෝඩිමේ සිටි විත්තිකරු ඉන් පසු වසර දෙකක කාලයක් පුරා විටින් විට දැරිය අපයෝජනයට ලක්කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා, බාලවයස්කාර දැරියන් රවටා ඔවුන්ගේ ජීවිත වනසන පුද්ගලයන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත්, ඔවුන්ට උපරීම දඬුවම් නියම කරන බවත් පවසමින්, එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා තුනට වසර 45ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා චෝදනාවකට රුපියල් 25,000 බැගින් චෝදනා තුනට රුපියල් 75,000ක දඩ නියම කෙරිණි.
0 Comments