Despite-all-the-problems-Russia-told-us-to-return-immediately-after-visiting-Sri-Lanka

අපි ශ්‍රී  ලංකාවට ආවේ දින 14ක සංචාරයක් සඳහා. අපි මේ වෙනකොට හිටියෙ හික්කඩුවේ. හදිසියේම ඇති වූ මේ තත්ත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස,

ඒ අනුව දින 14ක සංචාරය දින 07කින් නිමා කර ආපසු රුසියාව බලා යෑමට මෙම රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානය සඳහා අපි කටුනායක ගුවන්තොටුපොළට ආවා, යැයි රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා මහත්මිය කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී 06/05 දින උදෑසන 10.00ට පැවැසුවාය. අපිට රුසියානු රජය මීට පෙර ශ්‍රී  ලංකාවේ සංචාරය සඳහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සඳහා යොමු කිරීම් සිදු කළා. එහෙත් හදිසියේම ඇති වූ මේ තත්ත්වය පිළිබඳව අපි කම්පනයට පත් වුණා.

මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටලු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී  ලංකාවේ සංචාරයක නිරත වුණා. අපේ රුසියානු සංචාරකයන් නිසා ශ්‍රී  ලංකාවට ඩොලර් ලැබෙනවා. ඒත් මේ තීන්දුව නිසා ඒ තත්ත්වය ශ්‍රී  ලංකාවට අහිමි වෙලා යයි. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදුවීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. ඒ අනුව ශ්‍රී  ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය අපව දැනුවත් කර තිබෙනවා යැයිද එලේනා මෙසෙන්කෝවා මහත්මිය රුසියානු බසින් පැවැසුවාය.

එමෙන්ම යළිත් මින් ඉදිරියට කිසිදු රුසියානු සංචාරකයකු මෙවැනි සිදුවීමක් ඇතිවෙතැයි යන බියෙන් ශ්‍රී  ලංකාවට නොපැමිණෙනු ඇතැයිද ඇය වැඩිදුරටත් පැවැසුවාය.



රුසියානු රජයේ සහ ශ්‍රී  ලංකාවේ බලධාරීන් අතර ලිඛිත එකඟතාවක් පවතිද්දීත් එය නොසලකා හරිමින් බටහිර රාජ්‍යයක කුඩා රක්ෂණ සමාගමක පැමිණිල්ලක් මත මේ ආකාරයට දහස් ගණන් රුසියානු සංචාරකයන් අසරණ කරමින් අනාගතයේ ශ්‍රී  ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝගයට ලක් කරමින් ශ්‍රී  ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් ඇනහිටුවා ගැනීම පුදුම සහගත බවද ඇය සඳහන් කළාය. එහිදී ඇයගේ මෙම අදහස් සිංහල භාෂාවට පරිවර්තනය කරදීම සඳහා ඇය ඇතුළු කණ්ඩායමේ සංචාරක මඟපෙන්වන්නා වන මුදිත මෙවන් කුමාර මහතා ඉදිරිපත් විය.

ශ්‍රී  ලංකාව තුළ සිටින සියලුම රුසියානු සංචාරකයන්ට සිය සංචාරයන් අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය විසින් දැනුම් දීමත් සමඟම එම සංචාරකයන් කඳුළු සලමින් රුසියානු අවසන් එරොෆ්ලොට් ගුවන් යානයෙන් ශ්‍රී  ලංකාවෙන් පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත 06/05 දින උදෑසන පැමිණ සිටියහ. ඔවුන් සමඟ පැමිණි සංචාරක මඟපෙන්වන්නන්, බස් රථ රියැදුරුවරුන්, බස් රථ සහායකයන් ඉතා දුක්මුසු ආකාරයෙන් මෙම රුසියානු ගුවන් මගීන්ට සමුදෙන ආකාරයද අපට ගුවන්තොටුපොළේදී දැකගත හැකි විය.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බොහෝ රුසියානු සංචාරකයන් ද ඉතා ශෝකාකූල මුහුණින් යුතුව සිය අවසන් ගුවන් යානය සඳහා කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු වන ආකාරය දැක ගැනීමට තිබිණි. මේ අතර සංචාරක නියෝජිතයෝ සිය අදහස් ප්‍රකාශ කරමින් මෙවැනි තීරණයකට එළැඹීමට පෙර ශ්‍රී  ලංකාව අස්සන් කර ඇති විවිධ ගිවිසුම්, එකඟතාවන් පිළිබඳවද අවධානය යොමු කිරීමට අවස්ථාවක් තිබූ බවද පැවැසූහ.



ඉකුත් 06/02 දින දහවල් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට තිබූ එස්.යූ. 288 ගුවන් යානයේ මගීන් සහ මේ වන විට ශ්‍රී  ලංකාවේ සංචාරය කරමින් සිටි රුසියානු ජාතික ගුවන් මගීන් 06/04 දින සහ 06/05 දින රුසියාව විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ විශේෂ එරොෆ්ලොට් ගුවන් යානා මඟින් පිටත්ව යෑම සිදුකර තිබිණි. ඒ අනුව 06/04 දින දහවල් 12.50ට රුසියානු ගුවන් සේවයේ එස්.යූ. – 289 දරන විශේෂ ගුවන් යානයෙන් රුසියානු ගුවන් මගීන් 289 දෙනකු මොස්කව් නුවර බලා පිටත්ව ගොස් තිබූ අතර 06/05 දින දහවල් 12.50ට රුසියාවේ මොස්කව් නුවර වෙත පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ රුසියානු සේවයේ අවසාන ගුවන් යානය වන එස්.යූ. 289 ගුවන් යානයෙන් පිටත්වීම සඳහා රුසියානු ගුවන් මගීන් 300ක පමණ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල