අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අඟහරුවාදා සවස IMF හි කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බවත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විස්තර කළ බවත් අග‍්‍රාමාත්‍ය කාර්යාලය අද ප‍්‍රකාශ කළේය.



මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීමට කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කරන ලද බවද නිවේදනයේ දැක්වේ.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීමට හැකි වන බවත්ය.

ද්වීපාර්ශ්වික මූල්‍ය සම්බන්ධ සාකච්ඡා අවසන් කිරීම ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සමග රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.
ඒ අනුව IMF ණය ලබාගැනීම කඩිනම්වී ඇතැයිද අග‍්‍රාමාත්‍ය කාර්යාලය අද ප‍්‍රකාශ කළේය.

 මේ ගැන සඳහන් කරමින් අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී මෙසේ කීය.

"IMF සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එක්ක කතා කළා. ඔබතුමා කිව්ව එක තමා මමත් කිව්වේ. අපිට ඉක්මනින් මුදල් ඕනේ. දැනට තියෙන වැඩසටහන්වලට ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට මේක ඉක්මනින් ලබාදෙන්න. අපි මෙතැනින් එකඟවුණාම තමා අපිට වෙනත් රටවලින් මුදල් ලබාගන්න පුළුවන් කියලා. එතුමිය කිව්වා ඒකට හොඳ ප්‍රතිචාරයක් දෙනවා කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ මාසයේ හෝ එන මාසයේ මේ වැඩකටයුත්ත අවසන් කරන්න අපි උත්සහ ගන්න ඕනේ."